අද රාත්‍රී සිට පවතින වැසි තත්වය තවදුරටත් වැඩිවිය හැකියි (වීඩියෝ)

දෙසැ 08, 2019

    දිවයිනට ගිනිකොණ දෙසින් වන වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද රාත්‍රී සිට පවතින වැසි තත්වය තවදුරටත් වැඩිවිය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, මොණරාගල, පොළොන්නරුව, බදුල්ල, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 200ක පමණ තද වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ දැක්වේ. මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14ක පවුල් පහළොස්දහස් 19ක පුද්ගලයින් පනස් එක්දහස් 440 දෙනෙකු පීඩාවට පත්ව සිටී. මඩකලපුව දිස්ත්‍රික් මහලේකම් මානික්කම් උදයකුමාර මහතා පවසන්නේ, අවතැන්වූ 1915 දෙනෙකු කඳවුරු 14ක නවාතැන් ගෙන සිටින බවයි.

    අධික වර්ෂාව හේතුවෙන් ලුණුගම්වෙහෙර ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් තිබේ. පහත්බිම්වල ජනතාවට දැනුම් දී ඇත්තේ, අවධානයෙන් පසුවන ලෙසයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජලාශ රැසක් වාන් දමා තිබේ. රාජාංගනය ජලාශය, නාච්චාදූව වැව, කනදරාව වැව, විලච්චිය වැව හා තිසා වැව මෙලෙස වාන් දැමූ වැව් කිහිපයකි. අයහපත් කාලගුණය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ග රැසක උදෑසන කාලයේ හා සවස් කාලයේ දැඩි මිදුම් සහිත තත්වයක් පවතී.

    මැදවච්චිය කිරවරන්කුලම් වැවේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් වාන් දොරටු 6ක් අඩියක් බැගින් අද විවෘත කෙරිණ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ, පහත් බිම්වල වෙසෙන ජනතාව සැලකිල්ලෙන් සිටින ලෙසයි.

    කිලිනොච්චි, ඉරණමඩු වැවේ වාන් දොරටු විවෘත කෙරිණ. ජලපහර නැරඹීමට පැමිණි යතුරු පැදිකරුවන් තිදෙනෙකු ද අනතුරට ලක්ව තිබේ. කිලිනොච්චි රෝහලේ ප්‍රතිකාර ලබන අයෙකුගේ තත්වය බරපතල බව වාර්තාවේ. අනතුරුදායක තත්වයන් නොසලකා ක්‍රියා කිරිමෙන් වළකින්නැයි පොලිසිය ප්‍රදේශවාසීන්ට දැනුම් දෙයි.

    ගංවතුරින් අවතැන්වූ අම්පාර, තිරුක්කෝවිල් ජනතාවට වියළි ආහාර බෙදාදීම සිදු කෙරිණ.

    Last modified on ඉරිදා, 08 දෙසැම්බර් 2019 19:47

    Latest News