ප්‍රාදේශීය මාධ්‍යවේදියාට හා බිරිඳට මැර ප්‍රහාරයක් (වීඩියෝ)

දෙසැ 08, 2019

    නීති විරෝධිව කෘතිම රා නිෂ්පාදනය කරන මැර කල්ලියක් කළුතර ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකුට හා ඔහුගේ බිරිඳට පහරදී තිබේ.

    මෙම පහරදීම සිදුකර තිබෙන්නේ, කෘතිම රා වැටලීම පිළිබඳ තොරතුරු මාධ්‍ය මගින් ප්‍රචාරය නොකරන ලෙස තර්ජනය කරමින්. පහරකෑමට ලක්වූ මාධ්‍යවේදියා සහ ඔහුගේ බිරිඳ අලුත්ගම රෝහලේ ප්‍රතිකාර ලබයි. පහරදීම සිදුකර ඇත්තේ අලුත්ගම, දර්ගා නගරයේ පිහිටි මාධ්‍යවේදියාගේ නිවසට පැමිණ. ඔහුගේ යතුරු පැදියට හා නිවසට ද දැඩි හානිකර තිබේ.

    සිද්ධිය පිළිබඳව පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත. කෘතිම රා නිෂ්පාදනය සිදු කෙරෙන්නේ, සංවිධානාත්මක සොරකමක් ලෙස. පසුගිය කාලය පුරා කළුතර දිස්ත්‍රික්කයේ නීති විරෝධි කෘතිම රා නිෂ්පාදනාගාර කිහිපයක් වටලනු ලැබීය. කෘතිම රා නිෂ්පාදනයට විරුද්ධ වන සියලු දෙනාට මැර තර්ජන එල්ල වෙමින් පවතින බව වාර්තාවේ. පසුගිය මාස කිහිපය තුළ කළුතර දිස්ත්‍රික්කයේ පමණක් කෘතිම රා ලීටර් එක් ලක්‍ෂ පනස් දහසක් පමණ අත්අඩංගුවට ගෙන විනාශ කෙරිණ.

    මේ නිසා රජයට අහිමිවන බදු ආදායම අති විශාලයි. කෘතිම රා මාෆියාව පිළිබඳව බලධාරීන් නිහඬව සිටීම හේතුවෙන් ඊට විරුද්ධ වන මාධ්‍යවේදීන් ඇතුලු පාර්ශවවලට දැඩි තර්ජනයක් එල්ල වෙමින් පැවතීම කණගාටුවට කරුණක්.

    Last modified on ඉරිදා, 08 දෙසැම්බර් 2019 19:18

    Latest News