ජනාධිපතිතුමාට මහා සංඝරත්නයේ ආශිර්වාද (වීඩියෝ)

දෙසැ 08, 2019

    ජාත්‍යන්තරයෙන් මෙරටට එල්ලවන සියලු අභියෝග ජය ගනිමින් මාතෘ භූමියේ ආරක්‍ෂාව තහවුරු කළ හැකි නායකයෙකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාට ජනතාවගේ ආශීර්වාදය හිමිවන බව ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් පැවසූහ.

    කැලණිය විද්‍යාලංකාර පුදබිම වෙත ඊයේ පැමිණි ජනාධිපතිතුමා එහි ධාතු මන්දිරය වැඳ පුදා ගත්තේය. කුසලධම්ම හිමියන් පැවසුවේ ආධ්‍යාත්මික භූමියක් වූ විද්‍යාලංකාර පුදබිමට ජනාධිපතිතුමාගේ පැමිණිම මහත් ගෞරවයක් බවයි.

    අනතුරුව ජනාධිපතිතුමා අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් සහ සබරගමුව විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය පූජ්‍ය කඹුරුගමුවේ වජිර හිමියන් බැහැ දැක ආශිර්වාද ලබාගත්තේය.

    ජනාධිපතිතුමා ඓතිහාසික කැලණිය රජමහා විහාරස්ථානයට පැමිණියේ ඉන් අනතුරුවයි. එහිදී ආගමික වතාවත්වල නිරතවීමෙන් පසු විහාරාධිපති පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නායක හිමියන් සහ පුජ්‍ය බෙංගමුවේ නාලක යන ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සංඝරත්නය ජය පිරිත් සජ්ජායනා කර ජනාධිපතිතුමාට ආශිර්වාද කළේය.

    ජනාධිපතිතුමාගේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමට මහා සංඝරත්නයේ ආශිර්වාදය නිරන්තරයෙන් හිමිවන බව උන්වහන්සේ පැවසූහ. මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු ද මේ අවස්ථාවට එක්වූහ.

    Last modified on ඉරිදා, 08 දෙසැම්බර් 2019 20:13

    Latest News