ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වන සංවත්සරයට සාමාජ සත්කාරක වැඩසටහන් රැසක්

දෙසැ 08, 2019

    අභිමානවත් 69 වන සංවත්සරයට සමගාමිව ශ්‍රී ලංකා නාවික හමුදාව සාමාජ සත්කාරක වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි.

    ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන රට වැට බැඳි රන් වැට, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වන සංවත්සරය 2019 දෙසැම්බර් 09 වන දින යෙදී ඇති අතර, ඊට සමගාමීව පසුගිය දින කිහිපය පුරාම සාමාජ සත්කාරක වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන ලදී.

    එහි තවත් වැඩසටහන් මාලාවක් 2019 දෙසැම්බර් 07 වන දින උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරන ලද අතර, එහිදී යාපනය, අච්චුවේලි ‘Convent Our Lady of Lanka’ ළමා නිවාසය පරිශ්‍රය පිරිසිදු කිරීමට කටයුතු කරන ලදී. මේ සඳහා නාවික පුද්ගලයින් විශාල පිරිසක් සහභාගිවී සිටියහ. තවද, එම කාර්යය ළමා නිවාසයේ කාර්ය මණ්ඩලය විසින් මහත් පැසසුමට ලක් කරන ලදී.

    එමෙන්ම, ත්‍රිකුණාමලය පිහිටි නාවික රෝහල (නැගෙනහිර) පරිශ්‍රයේදී 2019 දෙසැම්බර් 07 වන දින ලේ දන්දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කල අතර, ඒ සඳහා නාවික පුද්ගලයින් විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් මෙම ලේ දන්දීමේ වැඩසටහන සඳහා සිය දායකත්වය ලබා දීමට එක් වී සිටියහ.

    තවද, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වන සංවත්සරය වෙනුවෙන් 2019 දෙසැම්බර් 08 සහ 09 යන දෙදින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රදානත්වයෙන් ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් අභියසදී ගිලන්පස සහිත බුද්ධ පූජාවක් පැවැත්වීමට ද කටයුතු සුදානම් කර ඇත.

    Latest News