ස්විස්ටර්ලන්ත නිලධාරිනියට තර්ජනය කලැයි සිද්ධියට CID පරීක්ෂණයක්

නොවැ 28, 2019

    මෙරට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගෙන ගොස් තර්ජනය කළ බවට පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

    මෙරට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ පූර්ණ සහාය ඊට ලැබෙන බවයි, එම අමාත්‍යාංශය කියා සිටින්නේ. මෙරට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ ලාංකීය නිලධාරිනියක තාවකාලිකව පැහැරගෙන ගොස් තර්ජනය කළ බවට වාර්තා වුණේ, ඊයේ දිනයේදී. තානාපති කාර්යාලයට අදාළ තොරතුරු අනාවරණය කරන ලෙසට බලපෑම් කර පැය 2ක පමණ කාලයකින් පසු ඇය නිදහස් කර ඇති බවයි, වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් ස්විස්ටර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබේ. ස්විස්ටර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපතිවරයා බර්න් නගරයේ විදේශ කටයුතු අමාත්‍යංශ්‍ය වෙත කැඳවා සිද්ධිය පිළිබඳ විමසා ඇති බවයි වාර්තා වන්නේ. මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ පැහැරගෙන බලපෑම් කළ බවට සැළකෙන සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් ක්‍රියාත්මක කර ඇති බවයි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී අදහස් පළ කෙරිණ.

    මාධ්‍යවේදිනිය...
    ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලය නිලධාරිනියක් ප්‍රශ්න කිරීම් පිළිබඳව මාධ්‍ය වාර්තා පළ වුණා. මේ පිළිබඳව රජයේ ප්‍රතිචාරයක් තිබෙනවද? මන්ද එමගින් මාධ්‍ය නිදහසට බලපෑම් එල්ල විය හැකියි.

    රමේෂ් පතිරණ - සම කැබිනට් ප්‍රකාශක

    එම අදාළ සිද්ධිය පිළිබඳ මේ මොහොතේ දී අදහස් පළ නොහැකියි. අප ඒ පිළිබඳව සොයා බලන්නම්. රටෙහි මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීමට රජය සියලු ක්‍රියාමාර්ග ගන්නා බවට අපි සහතික විය යුතුයි. ඔබ අත්විඳින කුමන ආකාරයේ නිදහස් වුවද, එය තවත් ශක්තිමත් කිරීමටයි, අපට අවශ්‍ය වන්නේ. ඒ ගැන කිසිඳු සැකයක් නැහැ. සිද්ධිය පිළිබඳ අපි දැනට දැනුවත් නැහැ. තොරතුරු ලැබීමෙන් පසු ඒ පිළිබඳව අප ඔබව දැනුව්ත කරන්නම්.

    Last modified on බ්‍රහස්පතින්දා, 28 නොවැම්බර් 2019 15:07

    Latest News