විපක්ෂ නායක පුටුවට සජිත් ඉල්ලා අත්සන් 57ක ලිපියක් කතානායකට

නොවැ 28, 2019
    පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන ලෙස ඉල්ලා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 57 දෙනෙකු අත්සන් තබමින් ලිපියක් මගින් නැවත වරක් කතානායක කරු ජයසුරිය මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
    මෙම ඉල්ලීම සහිත ලිපිය ඊයේ (27) පස්වරුවේ කථානායක වෙත භාරදුන් බව කතානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.
    ඒ අනුව මන්ත්‍රීවරුන්ගේ  ඉල්ලීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයාගේ අවධානය යොමු කරමින් කතානායක කරු ජයසුරිය මහතා විසින් ලිපියක් යොමුකර ඇත. එම ලිපිය සමඟ මන්ත්‍රිවරුන්ගේ අත්සන් සහිත ඉල්ලීම් ලිපියේ පිටපතක් ද  මහ ලේකම් වෙත යොමු කළ බව කතානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්වේ.
    මන්ත්‍රීවරු 57 දෙනාගේ ඉල්ලීම පිළිබඳවද අවධානය යොමුකොට විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂය ලෙස එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය නිල වශයෙන් දැනුම් දෙන ලෙස එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් වෙත ⁣කතානායක යොමු කළ ලිපියෙන් ඉල්ලීමක් කර තිබේ.
    විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් එකිනෙකට වෙනස් මත දෙකක් ඉදිරිපත්ව ඇති බැවින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡා කර අවසන් එකඟතාවයකට පැමිණ ගනු ලබන තීරණය නිල වශයෙන් දැනුම් දුන් පසුව පාර්ලිමේන්තු සම්ප්‍රදාය පරිදි කථානායකතුමා විසින් ඒ පිළිබඳව මීළඟ පාර්ලිමේන්තු දිනයේ දී ප්‍රකාශයට පත් කිරිමෙන් අනතුරුව පමණක් විපක්ෂ නායක ධුරය නිල වශයෙන් බලාත්මක වනු ඇති බවත් කතානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

    2019.11.28

    Last modified on බ්‍රහස්පතින්දා, 28 නොවැම්බර් 2019 10:29

    Latest News