ද්විත්ව පුරවැසි ගැටුමක් මැතිවරණ කොමිසමට නැහැ; මහින්ද දේශප්‍රිය

නොවැ 13, 2019

    ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට පෙන්වන ලද ලිපිලේඛන පිළිබඳව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැහැදිලි කළේය.

    ඒ අද (13) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී. ඡන්ද කාර්යාල අද මධ්‍යම රාත්‍රී 12.00 සිට තහනම් බව මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. එහිදී අදහස් දැක්වූ මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා...

    “පුරවැසිභාවය ඉවත්කරලා තියෙනවා කියලා අපිට සහතිකයක් පෙන්නුවා. මම ඒක අතට ගත්තා. අතට අරගෙන සර්ට දුන්නා. සර් බලලා, මහාචාර්යවරයාට දුන්නා එතුමා දෙපැත්ත හරවලා බලලා අපි ආපහු දුන්නා. ඔන්නම් මගේ අතේ තත්පර 30ක් තියෙන්න ඇති. කවුරුවත් මේක පිළිගන්නවද නැද්ද කියලා සහතිකයක් දුන්නේ නැහැ. අපේ මතය ඒකට අපි උනන්දුවක් නැහැ. යම් තැනැත්තෙක් අපට උනන්දුව තියෙන්නේ නාම යෝජනාවක් ප්‍රතික්ෂේප කිරීමට පනතින් දීලා තියෙන වගන්තිවලට අදාළ නම් පමණයි. නිසිලෙස බාරදීලා නැත්නම්, බාරදීමට නියමිත පුද්ගලයා බාරදීලා නැත්නම්, ඇප මුදල් තැන්පත් කරලා නැත්නම්, පිළිගත් දේශපාලන පක්‍ෂයකින් ඉදිරිපත් වෙලා නැත්නම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගෙන් නොවේනම්, අපේක්ෂකයගෙයි, ලේකම්ගෙයි, නාම යෝජනාකරුගේ අත්සන් නැත්නම් ඒවාගේ සිද්ධීන් කිහිපයකට විතරයි. ප්‍රතික්ෂේප කිරීමට හේතුවක් නෙමෙයි ද්විත්ව පුරවැසිභාවය කියන එක ප්‍රතික්ෂේප කිරීමට හේතුවක් හැටියට පනතේ දක්වලා නැහැ. ප්‍රතික්ෂේප කරන්න අපට බලයක් නැහැ. ඒක උසාවියෙන් යන්න ඕනේ. නිසි බලය තියෙන අධිකරණයකින් කෙරෙන්න ඕන වැඩක් මේක. යම් කිසි ගැටලුවක් තියෙනවානම් අපිට ඒක අදාළ භාවයක් නැහැ. අලි සබ්‍රි මහත්තයා දාපු එකේ කිසි ගැටලුවක් නැහැ අපට. අපි අපිගාව තියන එක දාලා තියෙන්නේ. පරස්පරයක් නම් එතුමා බොරු කරලා තියෙනවනම් ඒක අපට අදාළ නැහැ. අධිකරණය අපිට උඩින්. අධිකරණයට උඩින් ජනතාව“ යැයි මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

    මැතිවරණ ප්‍රතිඵල යූ ටියුබ් හා ෆේස්බුක් ඔස්සේ ගෙන ඒමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් නාලක කළුවැව මහතා පවසයි.

    “ඡන්ද ප්‍රතිඵල අපට ලද වහාම ඊ-මේල් හරහා සියලු මාධ්‍යයන්ට යොමු කරනවා මැතිවරණ කොමිසමේ සිට. මෙවර ප්‍රථම වතාවට යූ ටියුබ් හා ෆේස්බුක් හරහා සජිව විකාශයක් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරනවා මැතිවරණ ප්‍රතිඵල විකාශය සඳහා යැයි“ නාලක කළුවැව මහතා පැවසීය.

    Latest News