බුද්ධාගම ව්‍යවස්ථාවෙන්ම සුරක්ෂිත කරන බවට සජිත්ගෙන් නාහිමිවරුට ලිඛිත පොරොන්දුවක්

නොවැ 13, 2019

    ව්‍යවස්ථාවෙන් බෞද්ධාගමට ලබාදී ඇති ප්‍රමුඛස්ථානය එලෙසින්ම ආරක්ෂා කිරීමට කැපවෙන බවට තෛනිකායික මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙත ලිඛිත පොරොන්දුවක් ලබා දීමට සජිත් ප්‍රේමදාස පියවර ගෙන තිබේ.

    එම ලියවිල්ල ඇමැති පාඨලී චම්පික රණවක මහතා විසින් මල්වතු පාර්ශවයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් වෙත පිළිගන්වනු ලැබූහ.

    ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඊයේ (12) මල්වතු මහ විහාරයට ගොස් එම ලිඛිත පොරොන්දුව මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් වෙත පිළිගන්වනු ලැබුණු අතර අමාත්‍යවරයා මල්වතු පාර්ශිවයේ අනුනායක හිමිවරු වන පූජ්‍ය නියංගොඩ විජිතසිරි හා දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමිවරුද මේ සම්බන්ධව දැනුවත් කිරීමට පියවර ගත්ගතේය.

    ශ්‍රී ලංකාවේ ඒකීය භාවය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවට සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 16 වන පිටුවේ සඳහන්ව තිබෙන බවත් ඒ සම්බුද්ධ ශාසනයට ව්‍යවස්ථාවෙන් ලබාදී තිබෙන ප්‍රමුඛස්ථානය හා ආරක්ෂාව සම්බන්ධව ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 63 වන පිටුවේ පැහැදිලිව දක්වා තිබෙන බවත් අමාත්‍යවරයා මහානායක හිමි හමුවේ පැවැසීය.

    සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙවර ජනපතිවරණය නිමිත්තෙන් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේදී මේ බව පැහැදිලිව දක්වා තිබියදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කඳවුරේ පිරිස් අසත්‍ය ප්‍රචාර ගෙන යමින් ජනතාව නොමග යැවීමට කටයුතු කරමින් සිටින බව පාඨලි චම්පික රණවක කියා සිටියේය. රටේ ඒකීය භාවයත් බෞද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානයත් ආරක්ෂා කිරීමට සෑම විටම කටයුතු කරන බවත් මහනාහිමිවරුන්ට සපථ කර සිටීමට සජිත් ප්‍රේමදාස මහතා පියවර ගත් බවත් ඇමැති පාඨලී චම්පික රණවක මහතා කීය.

    Latest News