මැතිවරණයට පොලීසියෙන් 60,175ක්; සිවිල් 8,080ක්

නොවැ 13, 2019

    දිවයින පුරා ඇති ඡන්ද පොළවල් 12,856 ක් සඳහා එක් ඡන්ද පොළකට නිළධාරීන් දෙදෙනකු බැඟින් රාජකාරියේ යෙදවීමට නියමිතයි. එම යෙදවෙන නිළධාරින් දෙදෙනා බහුතරයක් ඡන්ද පොළවල් සඳහා පිරිමි නිළධාරීන් දෙදෙනෙක් වශයෙන් ද, ඇතැම් ඡන්ද පොළවල් සඳහා කාන්තා නිළධාරිනියක් සහ පිරිමි නිළධාරියෙක් ද වශයෙන් රාජකාරියේ යෙදවේ. ඒ අනුව, 12,856 ක ඡන්ද පොළවල් සඳහා රාජකාරියේ යෙදවෙන මුළු පොලිස් නිළධාරීන් ගණන 25,712 කි.

    එමෙන්ම, ඉහත සඳහන් ඡන්ද පොළවල් සියල්ලම ආවරණය වන ලෙසට දිවයින පුරා පොලිස් ජංගම සංචාර 3,043ක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. එක් ජංගම සංචාරයක් සඳහා පරීක්‍ෂක ශ්‍රේණියේ එක් නිළධාරියෙක් (උප පොලිස් පරීක්‍ෂක වරයෙක් හෝ පොලිස් පරීක්‍ෂක වරයෙක්) පොලිස් සැරයන්වරුන්ගෙන් හෝ පොලිස් කොස්තාපල්වරුන්ගෙන් එක් නිළධාරියෙක් සහ සිවිල් ආරක්‍ෂක නිළධාරීන් දෙදෙනෙක් බැඟින් රාජකාරියේ යෙදවීමට නියමිතව තිබේ. ඒ අනුව, පොලිස් ජංගම සංචාර සඳහා දිවයින පුරා රාජකාරියේ යෙදවෙන මුළු පොලිස් නිළධාරීන් ගණන 6,086 ක් වේ. ඊට අමතරව ජංගම සංචාර සඳහා දිවයින පුරා රාජකාරියේ යෙදවෙන සිවිල් ආරක්‍ෂක නිළධාරීන්ගේ සංඛ්‍යාව ද 6,086 ක් වේ.

    අදාළ කොට්ඨාස භාර නිළධාරින්ගෙන් වාර්තා වී ඇති අන්දමට ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 43 ක් බව සඳහන් කර අජිත් රෝහණ මහතා එම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සඳහා රාජකාරියේ යෙදවෙන මුළු පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව 2,193 ක් බව ද සඳහන් කරන ලදී. එක් ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් සඳහා ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත නිළධාරියෙක් (ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක් හෝ පොලිස් අධිකාරීවරයෙක්) රාජකාරියේ යෙදවේ. ඊට අමතරව පරීක්‍ෂක ශ්‍රේණියේ නිළධාරීන් පස් දෙනෙක් සහ පොලිස් සැරයන් නිළධාරීන් පස් දෙනෙක් සහ පොලිස් කොස්තාපල් නිළධාරීන් 40 ක් වශයෙන් එක් ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් සදහා රාජකාරියේ යෙද වීමට නියමිතයි.

    ජනාධිපතිවරණයට අදාළව ඉදිරි දින කිහිපයේ දී කැරළි මර්ධන කණ්ඩායම් 153 ක් දිවයින පුරා ස්ථාපිත වන බව ද මෙහි දී සඳහන් විය. ඒ පූර්ණ කැරළි මර්දන කණ්ඩායම් 54 ක් සහ අර්ධ කැරළි මර්ධන කණ්ඩායම් 99 ක් වශයෙනි. ඒ සඳහා, එක් පූර්ණ කැරළි මර්දන කණ්ඩායමක් සඳහා පරීක්‍ෂක ශ්‍රේණියේ එක් නිළධාරියෙක්, පොලිස් සැරයන් නිළධාරියෙක් සහ පොලිස් කොස්තාපල් නිළධාරීවරුන් අට දෙනෙක් වශයෙනි. එමෙන්ම, එක් අර්ධ කැරළි මර්ධන කණ්ඩායමක් සඳහා පරීක්‍ෂක ශ්‍රේණියේ එක් නිළධාරියෙක්, පොලිස් සැරයන් නිළධාරීවරයෙක් සහ පොලිස් කොස්තාපල් නිළධාරීන් පස් දෙනෙක් වශයෙනි. ඒ අනුව, කැරළි මර්ධන කණ්ඩායම් 153 සඳහා යෙදවීමට බලාපොරොත්තුවන නිළධාරීන්ගේ සංඛ්‍යාව 1,233 කි.

    එමෙන්ම, මේ වන විට දැනටමත් දිවයිනේ ස්ථිරව ස්ථාපිත කර ඇති පොලිස් මාර්ග බාධක 137 ට අමතරව, ජනාධිපතිවරණය වෙනුවෙන් රටේ සාමය ආරක්ෂා කිරීම සඳහා අමතර පොලිස් මාර්ග බාධක 190 ක් යෙදවීමට නියමිතව තිබෙන බව මෙහි දී සඳහන් විය. එම ස්ථිර පොලිස් මාර්ග බාධක 137 සඳහා එක් මාර්ග බාධකයක් වෙනුවෙන් පරීක්‍ෂක ශ්‍රේණියේ නිළධාරියෙක්, පොලිස් සැරයන් නිළධාරීවරයෙක්, සහ පොලිස් කොස්තාපල් නිළධාරීවරුන් දෙදෙනෙක් දැනටමත් යොදවා තිබෙන බවත්, යෙදවීමට නියමිත අමතර පොලිස් මාර්ග බාධක 190 සඳහා එක් මාර්ග බාධකයක් වෙනුවෙන් පරීක්‍ෂක ශ්‍රේණියේ නිළධාරියෙක්, පොලිස් සැරයන් නිළධාරීවරයෙක්, පොලිස් කොස්තාපල් නිළධාරීවරුන් හතර දෙනෙක් සහ සිවිල් ආරක්ෂක නිළධාරියෙක් ද බැඟින් යෙදවේ. ඒ අනුව, සමස්ථ මාර්ග බාධක සඳහා රාජකාරියේ යෙදවෙන මුළු පොලිස් නිළධාරීන් ගණන 1,688 ක් වේ. මෙම මාර්ග බාධක සඳහා රාජකාරියේ යෙද වීමට නියමිත සමස්ත සිවිල් ආරක්ෂක නිළධාරීන්ගේ ගණන 190 කි.

    Last modified on බදාදා, 13 නොවැම්බර් 2019 07:33

    Latest News