SBගේ පොලිස් නිලධාරීන් දෙදෙනා ලබන 25 දක්වා යළි රිමාන්ඩ්

නොවැ 11, 2019

    තරුණයන් දෙදෙනෙකුට වෙඩි තබා තුවාල සිදු කළ බවට සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එස්.බී. දිසානායක මහතාගේ ආරක්ෂක පොලිස් නිලධාරින් දෙදෙනා ලබන 25 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර කරන ලෙස නියෝග කරයි.

    සැකකරුවන් දෙදෙනා අද (11) හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජෙ. ස්ට්රොමස්කි මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් වරයා මේ නියෝගය සිදු කළේය.

    මෙසේ රක්ෂිත බන්ධානාගත කරනු ලැබුවේ ඇමති ආරක්ෂක අංශයේ පොලිස් කොස්තාපල් ජානක ප්‍රේමසිරි, පොලිස් කොස්තාපල් දුමින්ද ලක්මාල් යන දෙදෙනායි.

    මෙම සැකකරුවන් දෙදෙනා අද හඳුනාගැනිමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කර තිබේ.

    ඉකුත් 6 වන දා රාත්‍රී 07.30ට පමණ ගිනිගත්හේන පොල්පිටිය ප්‍රදේශයේදී එස්.බී. දිසානායක මන්ත්‍රිවරයාගේ ආරක්ෂක අංශය ගමන් ගත් රථයේ, විවහා මංගල්‍යය උත්සවයකට සහභාගි වි නිවස කරා යමින් සිටි තරුණයන් සිව්දෙනෙක් රැගත් වැන් රථයක ඉදිරිපස පැති කණ්ණාඩිය ගැනිමෙන් අනතුරුව ආරක්ෂක අංශ නිලධාරින් සහ එම වෑන් රථයේ බීමත්ව සිටි තරුණයන් පිරිස අතර බහින් බස් විමක් ඇති ව තිබේ.

    එම සිද්ධිය දුරදිග යාම හේතුවෙන් එස්.බි දිසානායක මහතාද එම ස්ථානයට පැමිණ සිද්ධිය සමථයකට පත් කිරීමට උත්සහ ගෙන ඇති අතර එම අවස්ථාවේ මන්ත්‍රීවරයාගේ ආරක්ෂාව භාරව සිටි පොලිස් නිලධාරින් දෙදෙනා වෙඩිතැබීමක් සිදුකර ඇත.

    වෙඩිතැබීමෙන් සුළු තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු කරවනැල්ල රෝහලේ සහ අනෙක් පුද්ගලයා ගිනිගත්හේන රෝහලේ ප්‍රතිකාර සඳහා ඇතුලත් කරනු ලැබීය.

    මෙම වෙඩි තැබිමේ සිද්ධිය දේශපාලන සිදුවිමක් නොවන බව සිදු කළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති අතර ගිනිගත්හේන පොලිසිය විසින් වෙඩි තැබීම සිදු කළ පිස්තෝල දෙක සමඟ අදාල නිලධාරින් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

    වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ තිබී හිස් පතුරම් තුනක් ද පොලිසිය විසින් සොයාගෙන ඇති බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

    Latest News