ජාතිවාදය, ආගම්වාදය හා භේදය වපුරන පුද්ගලයින් සැබෑ බෞද්ධයින් නොවේ - සජිත්

නොවැ 09, 2019

    ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ දේශනාව තුළ ජාතිවාදය,ආගම්වාදය, ජාති භේදය, ආගම් භේදය දේශනා කර නොමැති බවත්, ජාතිවාදය, ආගම්වාදය හා භේදය වපුරන්න කටයුතු කරන පුද්ගලයින් සැබෑ බෞද්ධයින් නොවන බවත්,නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

    දිවංගත රණසිංහ ප්‍රේමදාස තම පියාණන් සහ තමන් හොඳ සිංහල බෞද්ධයින් බවත්, ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් බුද්ධ ප්‍රතිපත්තිය අනුගමනය කරමින් සම්බුද්ධ ශාසනයට මුල්තැන ලබා දී බුදුදහම ආරක්ෂා කරනවා වගේම, අනෙකුත් සියලු ජාතීන් හා ආගම් රැකගනිමින් ජාතිවාදය, ආගම්වාදය මෙරට ජන සමාජයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කර ශිෂ්ඨ සම්පන්න, යුක්තිගරුක, මානව හිතවාදී යුගයක් එළඹෙන 16 වෙනිදා ආරම්භ කරන බවත්, සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළකළේ මඩකලපුව දිස්ත්‍රික්කයේ, කල්කුඩා, ඔඩ්ඩමාවඩි අලි අමීර් ක්‍රීඩංගනයේ පැවති ජන රැළියට අද(09) දිනඑක්වෙමිණි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා ...

    “එළඹෙන 16 වෙනිදා නිර්මාණය වන්නේ උතුර, දකුණ, බටහිර, නැගෙනහිර පළාත් 9 ත්, දිස්ත්‍රික් 25 ත්, ග්‍රාමසේවා වසම් 14,022 ත් එක්සේසත් වුණු ශක්තිමත්, ජවසම්පන්න, සද්ධන්ත ශ්‍රී ලංකාවක්. ඒකීය ශ්‍රී ලංකාව තුළ උපරිම බලය බෙදා සෑම ජන කොටසක්ම රැක ගනිමින්, භෞමික අඛණ්ඩතාවය රකිමින්, සැබෑ ස්වෛරී, නිදහස් ශ්‍රී ලංකාව සුරකිනවා.

    ප්‍රතිවාදී කණ්ඩායමට උදව් කරන ඇත්තො කියන්නේ දේවස්ථාන, පල්ලි, කෝවිල් ඇතුළු ආගමික සිද්ධස්ථාන ගිනිතබා, කඩා විනාශ කරන එක හොඳයි කියලා. සජිත් ප්‍රේමදාසගේ ශබ්ද කෝෂයේ විනාශ කිරීම, කඩා දැමීම, පිචිචීම නැහැ. මගේ ප්‍රතිපත්තිය ඉදිකිරීම, ගොඩනැගීම, නිර්මාණය කිරීමයි.

    වාලච්චේන ප්‍රදේශයේ නව ධීවර වරායක් ඉදිකිරීම, වාලච්චේන කර්මාන්ත ශාලව තුළ නව කර්මාන්ත ශාලා ආරම්භ කිරීම, සෞඛ්‍ය හා පානීය ජල පහසුකම් ලබා දීමට කටයුතු කරනවා” යනුවෙන්ද පැවසීය.

    Latest News