පෞද්ගලික අංශයේ වැටුප් හා දීමනා වැඩි කරනවා..සජිත්

නොවැ 05, 2019

    පෞද්ගලික අංශයේ සියලු සේවක මත්ම, මහත්මීන්ගේ වැටුප් හා දීමනා වැඩි කිරීමට තමන් කටයුතු කරන බවත්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    ඒ සඳහා නව නීති රෙගුලාසි ගෙන එන බවත්, තම ඉදිරි රජය යටතේ රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කරන විට, ඊට සමාන්තරව පෞද්ගලික අංශයේ සියලු දෙනාගේ වැටුප් හා දීමනා වැඩි කිරීමට කටයුතු කරන බවත් පැවසීය. සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ මින්නේරිය නගරයේ පැවති ජන හමුවට ඊයේ (04) රාත්‍රී එක්වෙමින්.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා....

    අපේ රටේ පෞද්ගලික අංශයේ සේවය කරන සේවක මහත්ම මහත්මීන් විශාල පිරිසක් සිටිනවා. මීට පෙර සිටි කිසිම රජයක් රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කිරන විට පෞද්ගලික අංශයේ සේවය කරන මහත්ම මහත්මීන් ගැන වැඩි අවධානයක් යොමු කළේ නැහැ. පෞද්ගලික අංශයේ විවිධ ව්‍යාපාර ආයතනවල, පුංචි තැල් වල සේවය කරන අපේ රටේ අහිංසක ජනතාව රැක ගන්න මම කටයුතු කරනවා. අපේ රජය යටතේ රාජ්‍ය සේවක වැටුප නැව වැඩි කරනවා. රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කරන විට ඊට සමගාමීව පෞද්ගලික අංශයේ සේවය කරන සියලු දෙනාගේ වැටුප් හා දීමනා වැඩි කිරීම සඳහා මම නව නීති රෙගුලාසි ගේනවා.

    මෙරට සිටින සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් රැක ගැනීම සඳහා අප විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා බදු සහන, සහනදායී විවිධ ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කර එම ව්‍යාපාර දියුණු කර ගැනීම සඳහා රජය මැදිහත් වී කටයුතු කරනවා.

    මෙරට සිටින දස ලක්ෂ ගණනක් ත්‍රීරෝද රථ රියදුරන්ට රුපියල් ලක්ෂ 3ක ණය මුදලක් ලබා දීමට කටයුතු කරනවා. එම ණය මුදල සඳහා කිසිඳු පොලියක් අය නොකරන අතර, කිසිඳු ඇපයක් නොමැතිව සියලු දෙනාට ණය ලබා දීමට කටයුතු කරනවා...

    Last modified on අඟහරුවාදා, 05 නොවැම්බර් 2019 10:21

    Latest News