ඉන්දියාවේ නියම Pad Man සජිත්ට සුබ පතයි (වීඩියෝ)

නොවැ 04, 2019

    ඉන්දියානු ව්‍යවසාකයෙකු වෙන අරුණාචලම් මුරුගානන්දම් විසින් ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ කාන්තා සනීපාරක්ෂක තුවා සම්බන්ධ මැතිවරණ පොරොන්දුව පිළිබඳ ඉතා යහපත් ප්‍රතිචාරයක් දක්වා තිබේ.

    අරුණාචලම් මුරුගානන්දම් යනු ඉන්දියාවේ “පෑඩ්මෑන්” (PadMan) ලෙසින් හඳුන්වන සුප්‍රසිද්ධ නව ව්‍යවසායෙකු වේ. 2018 වසරේ දී බොලිවුඩ් චිත්‍රපටයක් පවා එම “පෑඩ්මෑන්” නාමය යටතේ නිෂ්පාදනය කර ඇත.  ඉන්දියාවේ ඉතා දුෂ්කර අභියෝග මත අඩු වියදම් සනීපාරක්ෂක තුවා නිෂ්පාදන කර්මාන්තයක් ආරම්භ කිරීම හේතුවෙන් අරුණාචලම් මහතා ප්‍රසිද්ධියට සහ විශ්ව කීර්තියට පත්ව තිබේ.

    ඔහු පවසන්නේ “ලොව පුරා නායකින් කාන්තාවන්ගේ මෙම ක්‍රියාදාමයේ ඇති වැදගත් කම පිළිබඳ තේරුම් ගැනීම ඉතා වටිනා කරුණක්” බවයි. මේ බව ඔහුගේ Facebook පිටුවේ පළ කර තිබේ.



    කාන්තා සනීපාරක්ෂක තුවා නොමිලේ ලබා දීමට කටයුතු කරන බව ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දා ප්‍රකාශ කළේය. මෙම ප්‍රකාශයත් සමග ඔහුගේ ප්‍රතිවිරුද්ධ පාර්ශව ඉතා උපහාසාත්මක ප්‍රතිචාර ඇතුළු විවිධ ප්‍රතිචාර මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරිණ.

    මෙම විවිධ අදහස්වලට සජිත් ප්‍රේමදාස මහතා ට්විටර් ඔස්සේ කියා සිටියේ “මෙම පොරොන්දුව පිළිබඳ ලජ්ජා නොවන” බවත්
    “කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ කතා කිරීම මෙය වඩා හොඳ ආරම්භයක්” බවත්ය.

    කලුතර ජාතික සෞඛ්‍ය විද්‍යා ආයතනය සහ කැලණිය විශ්ව විද්‍යාලය විසින් යුනිසෙෆ් ආයතනයේ වාර්තාවක් වෙනුවෙන් කළ විද්‍යාත්මක පර්යේෂණයකට අනුව ශ්‍රී ලංකාවේ පාසල් දැරියන් ඔවුන්ගේ ඔසප් චක්‍රය තුල පාසලට පැමිණීමේ දී විවිධ අභියෝගයන්ට මුහුණ දෙන බව අනාවරණය කර ඇත.

    ඔවුන්ට ඔසප් කාලය තුල රුධිර වහනය කළමනාකරණය කර ගැනීම (Menstrual Hygiene Management- MHM) පාසල් තුල පහසුකම් සහ ආධාර නොමැති වීම ඉන් ප්‍රධානයි. ලංකාවේ පාසල් දැරියන් ඔසප් කළමනාකරණය කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් පාසල් නොඑන දින ගණන ඉතා විශාලයි. එය මුළු පාසල් දැරියන් ජනගහනයටම ගණනය කල හොත් මිනිස් දින මිලියන 1.3 ක පාසල් නොයාමක් යැයි එම වාර්තාවේ දක්වා ඇත.

    ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතරින් සනීපාරක්ෂක තුවා භාවිතා කරන්නේ 30% ක් පමණ ප්‍රමාණයක්. ඉතිරි කාන්තාවන් ඉතා අවදානම්කාරී ලෙසයි සිය ඔසප් රිධිර වහනය කළමනාකරණය කර ගැනෙන්නේ. ඔවුන් විෂබීජ සහිත රෙදි, පුළුන්, කඩමලු ආදිය මේ සදහා යොදා ගැනීම නිසා ගැබ් ගෙල පිළිකා, ප්‍රජනන අවයව වල ආසාදන ආදියට ලක් වෙන බවද එම වාර්තාවේ දැක්වේ.

    කාන්තාවකගේ සෞඛ්‍යයට අත්‍යවශ්‍ය දෙයක් වන සනීපාරක්ෂක තුවා ශ්‍රී ලංකාව තුල තවමත් සුඛෝපභෝගී අංගයක් වන අතර 2018 දී සනීපාරක්ෂක තුවා සෙස් බද්දෙන් නිදහස් කළද එය වැට් බද්දෙන් සහ ජාතිය ගොඩනැගීමේ බද්දෙන් නිදහස් කර නොමැති බවත් වාර්ශික ගෘහස්ත ආදායමෙන් රුපියල් 1656 - 4968 අතර මුදලක් එක කාන්තාවක් සඳහා සනීපාරක්ෂක තුවා වෙනුවෙන් වැය වෙන බවද එහි වැඩිදුරටත් පෙන්වා දී ඇත.

    ඒ සම්බන්ධව FaceBook අඩවියේ පළ වී තිබූ විවිධ අදහස් කිහිපයක්..

    “සදාචාරාත්මක, මානුෂීය රජයක් මෙම කරුණු පිළිබඳව සංවේදීවිය යුතුයි.”

    “කාට ඡන්දේ දුන්නත් කමක් නෑ,ඒ කතාවට හිනා වෙන්න එපා..!!!”

    “එක්තරා කාලයක, මළ කඳක් හෝ මලමුත්‍ර අත ගෑම මිනිසුන් අපිරිසිදු ලෙස සලකන චාරිත්‍රයක් තිබුණා. මාසික ශුද්ධිය පවතින කාල සීමාවේ ගැහැණු ගැන හිතුවෙත් ඒ විදියට”

    “ලංකාවේ අති බහුතර ග්‍රාමීය කාන්තා ප්‍රජාව ආර්ථික දරිද්‍රතාව නිසා පමණක් තවමත් සිය ඔසප් දිනවලදී කිසිදු සනීපාරක්ෂාවකින් තොර රෙදි කැබලි පාවිච්චි කරමින් සිටින බව දන්නේ කවුද?. ග්‍රාමීය දැරියන්ගෙන් කී දෙනකු තම ආර්තව සමය තුළ පාසලට පැමිණෙන්නේදැයි සොයා බලා ඇති කෙනෙක් ඉන්නවද?”

    “කාන්තාවකගේ ජීවිතයේ වසර 30ක් පමණ ආර්තවය සිදු වෙයි නම් ඇය විසින් වසරකට සනීපාරක්ෂක තුවා 240ක් භාවිතා කළ යුතුයි. ජීවිත කාලය පුරා සනීපාරක්ෂක තුවා 7,200ක් පමණ පාවිච්චි කළ යුතුයි.”

    “ගැහැනියක් මවක් වීමට විඳින වේදනාව දරනවා තියා හිතන්නටවත් පිරිමියෙකුට බැරිය. ආර්ථව වේදනාව දෙවැනි වන්නේ ඊට පමණක් යැයි ඇතැමුන් කියයි. මා‍‍සෙකට වතාවක් ජීවිතයේ අඩකටත් වැඩි කළක් එවන් වේදනාවක්...!”

    “‍දේශපාලනය පසෙකින් තබන්න. සිනාසීමටත් විවේදනයටත් ඇතිපදම් කරුනු කාරණා තිබියදී ඔබේ සංවේදී ප්‍රශ්නයට සිනා නොවන්න. මහා තාක්ෂනික විප්ලව ගැන අටෝරාසියක් මහප්‍රාණ කියවන අතර දූවිලිමත ඇදෙන ප්‍රශ්නයත් විමසන්න. එහෙත් කාත් කවුරුවත් මායාම් නොකළ ප්‍රශ්නයක් විමසුමට ලක් කිරීම හොද ප්‍රවණතාවයකි.”

    “සජිත් ‘සියලු කාන්තාවන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා දෙන බවත් ඔසප් නිවාඩුවක් දෙන බවත්‘ කියා ඇතැයි ඇතමුන් පවසයි. එය දේශපාලන පොරොන්දුවක් පමණක්නම් කැතය. එහෙත් එවැන්නක් මාතෘකාවට ගැනීම අපූරුය.”

    “ඒ එක්කම ඊට කෝචොක් කරන්නටත්, නක්කලේ දමන්නටත් හැකි වන්නේ ප්‍රසව වේදනාවටත්, ඔසප් වේදනාවටත් සිනාසෙන නරුමයෙකුට පමණි.”

    “ඒ කෝචොක් පාර හෝ නක්කල් සිනහව හරිද කියා අම්මාගෙන් හෝ බිරියගෙන් හෝ සොයුරියගෙන් විමසීම වඩාත් මැනවි.!”

    “මේ අපහාසයක්ද? මෙරට කාන්තාවන් 52%න් ප්‍රජනන වියේ පසුවන හැමදෙනෙකුට ම සනීපාරක්ෂක තුවා අවශ්‍යයි. සජිත් සනීපාරක්ෂක තුවා නොමිළේ දෙන බව කිව්වාම ගෝඨාභය ආධාරකරුවන් මේ වගේ පෝස්ට් හදනවා. මට නම් මේක අපහාසයක් නෙමෙයි. මේක අපහාසයක් ලෙස ගන්නවා නම්, ඒ අපහාසය කරන්නෙ මේ රටේ 52%ක් වුණ කාන්තාවන්ටයි.”

     

    Last modified on සදුදා, 04 නොවැම්බර් 2019 20:00

    Latest News