ජනතාවට අයිති ඉඩම් විදේශයන්ට විකිණීමට ඉඩදිය නොහැකි - මහින්ද රාජපක්ෂ

නොවැ 03, 2019

    රටේ ජනතාවට අයිති ඉඩම් විදේශයන්ට විකිණීමට කිසිවෙකුට ඉඩදිය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    "මේ රටේ ඉඩම් මංකොල්ල කන්න දෙන්න බෑ, විකුණන්න දෙන්න බෑ. ඒවා අයිති ජනතාවට. අද අත්සන් කරන්න සූදානම් වෙන සමහර ගිවිසුම්වලට අපි විරෝධය පළ කරලා තියෙනවා, ජනතාවට දැනුවත් වෙලා.

    මැතිවරණයක් තියෙනකොට කරුණාකරලා ආණ්ඩුව දැනගන්න ඕනෙ යම් යම් දේවල් නොකර ඉන්න. රටට බලපාන දේවල්. ඉඩම් ටික විකුණාගෙන යනවා. මේවාට ඉඩ තියන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක්." යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

    මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (02) මාවතගම ප්‍රදේශයේ පැවති ජනරැළියක් අමතමිනි.

    කෙසේවෙතත් ශ්‍රී ලංකාවේ ඉහළම වාණිජ වටිනාකමින් යුත් ඉඩමක් වූ ගෝල්ෆේස් පිටිය ඉදිරිපිට, ආරක්ෂක අමාත්‍යාංශය සතුව පැවති ඉඩම චීන ශැංග්‍රිලා සමාගමට සින්නක්කරවම විකුණා දැමුවේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදි වේ. එසේම අලුතින් ගොඩනැගෙන කොළඹ වරාය නගරයේ සැලකිය යුතු ඉඩම් ප්‍රමාණයක් ද චීනයට සින්නක්කරව පැවරීමට රාජපක්ෂ රජය ගිවිසුම් අත්සන් කර තිබිණි. වර්තමාන රජය බලයට පැමිණිමෙන් පසු ශ්‍රී ලංකාවට භූමියේ අයිතිය හිමිවන පරිදි එම ගිවිසුම් වෙනස් කරණු ලැබිණ.

     

    Latest News