වත්මන් හා පසුගිය රජයන් අත්සන් කළ කිසිඳු ගිවිසුමක් තමන් ඉදිරියට ගෙන යාමට බැදී නෑ..සජිත්

ඔක් 31, 2019

    නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මල්වතු මහ නාහිමියන්ට සහ අස්ගිරි මහ නාහිමියන්ට පිළිගැන්වීම (31) දින මහනුවරදී සිදු කෙරිණ.

    පළමුව මල්වතු මහා විහාරයට පැමිණි සජිත් ප්‍රේමදාස මහතා, ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු මහ විහාර පාර්ශවයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන්ද්‍රයන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගෙන සිය ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිගැන්වීය. අනතුරුව මල්වතු මහ නාහිමියන් සමග ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව සුහද පිළිසරදරක යෙදිණ.

    පසුව අස්ගිරි මහා විහාරයට පැමිණි සජිත් ප්‍රේමදාස මහතා, ශ්‍යාමෝපාලි මහ නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහනායක වරකාගොඩ ධම්මදස්සි ස්වාමීන්ද්‍රයන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගෙන සිය ප්‍රතිපත්ති ප්‍රකාශය උන්වහන්සේට පිළිගැන්වීය.
    මෙහිදී අස්ගිරි මහනාහිමියන් සමග සජිත් ප්‍රේමදාස මහතා රටේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව සුහද පිළිසදරක යෙදිණ.

    එහිදී අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා ...

    වත්මන් රජය විසින් හෝ පසුගිය රජයන් විසින් අත්සන් කළ කිසිඳු ගිවිසුමක් 16 වැනිදා නිර්මාණය වන තම රජය යටතේ ඉදිරියට ගෙන යාමට බැදී නැහැ. සෑම ගිවිසුමක්ම හොඳින් අධ්‍යනය කර එය රටට සහ රටේ ජනතාවට හිතකර නම් පමණක් විනිවිඳභාවයෙන් යුතුව එම ගිවිසුම්වලට එළඹීමට කටයුතු කරනවා. බලය ලබා ගැනීමේ අරමුණින් තමන් කිසිම කොන්දේසියකට, ගිවිසුමකට යටත්වී රට,ජාතිය,ආගම පාවා දෙන්නේ නැහැ. ජාතික ආරක්ෂාව,දේශීයත්වයට,සංස්කෘතියට මුල්තැන ලබා දී කටයුතු කරනවා. ඉදිරියේ දී තමන් ගිවිසුම්වලට එළඹෙනවා නම් හදිසියේ, හොර රහසේ ගිවිසුම්වලට එළඹෙන්නේ නැහැ. මහා සංඝරත්නයේ සහ අන්‍ය ආගමික නායකයින්ගේ අනුශාසනා, අවවාද පිළිපදිමින්, රටේ සමස්ත ජනතාවගේ එකඟතාවයෙන් රටට හිතකර ගිවිසුම්වලට පමණක් එළඹෙනවා. කිසිම රටක හෝ පාර්ශවයක රූකඩයක් වන්නට, ගැතිකම් කරන්නට තමන් බැඳී නැහැ.

    Last modified on බ්‍රහස්පතින්දා, 31 ඔක්තෝබර් 2019 12:18

    Latest News