රට වෙනුවෙන් හරි තැන හිට ගෙන නිවැරදි නායකයා තෝර ගන්න.... පා.ම. දුමින්ද

ඔක් 26, 2019

    රට වෙනුවෙන් නිවැරදි ස්ථානයේ සිට ගන්නා ලෙස ස්වාධීනව මතයක් දරන්න ඉන්න සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසයී. ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, අනුරාධපුර නාච්චාදූව ප්‍රදේශයේ පැවති ජන හමුවකදීය. 

    වැඩි දුරටත් අදහස් දැක්වු පාර්මේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා.......

    මේ ජනාධිපතිවරණ සමයේ ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයෝ 04 දෙනෙක් අපිට පේනවා. ගොඨාභය රාජපක්ෂ මැතිතුමා, සජිත් ප්‍රේමදාස මැතිතුමා, අනුරකුමාර දිසානායක මැතිතුමා ඉන්නවා ඒ වගේම, අපේ හිටපු හමුදාපති මහේෂ් සේනානායක මැතිතුමත් ඉන්නවා.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපි මුලින්ම කල්පනා කළා , අනුර කුමාර මහත්තයයි, මහේෂ් සේනානායක මහත්තයයි දෙන්නා පැත්තකින් තියමු කියලා. ඒ මොකද? අපි මේ තෝරන්න යන්නේ රටේ ජනාධිපතිවරයා මිසක් හොදම කථාව කියන කෙනාවත්, හොදම අදහස තියෙන කෙනාවත් නෙමෙයි. අපිට අවශ්‍යයි මේ රටේ සියලු පුරවැසියෝ එකට එකතු වෙලා රටේ නායකයා තෝරනවා දකින්න. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණට හෝ එහෙමත් නැතිනම් ස්වාධීනව මතයක් දරන්න ඉන්න සියලු දෙනාගෙන්ම අපි ඉල්ලීමක් කරනවා මේ වෙලාවේ හරියට හිට ගන්න. රට හදන්න නම්, රට වෙනසකට ගෙන යන්න නම් ජයග්‍රහණය තුලින් පමණයි හැකි වෙන්නේ. එහෙම නම් ජයග්‍රහාහී අපේක්ෂකයා වටා එකතු වනවාට වඩා වෙන කෙනෙක්ට එකතු වෙලා තමන්ගේ ඡන්ද නාස්ති කරන්න එපා කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ ඡන්දය පාර්ලිමේන්තු, පළාත් සභා, ප්‍රාදේශීය සභා මැතිවරණයේදී කමක් නෑ, තමන්ගේ කෙනෙක් පත් කර ගන්න පුළුවන්. හැබැයි රටේ නායකයා තෝරන මැතිවරණයේදී මේ එක් කෝටි පනස් නව ලක්ෂයක් ඡන්ද දායකයන්ගේ සියලුම ඡන්ද වලට වටිනාකමක් තියෙනවා. මේ රටේ සියලු දෙනාම බලාගෙන ඉන්නවා රටේ නිවැරදිම නායකයා තෝරා ගන්න තමන් කොහොමද ඡන්දය භාවිතා කරන්නේ කියලා. ඒ නිසා ගගට කැපුව ඉනි ටික වගේ ඡන්ද නාස්ති කරන්න එපා කියලා අපි ඉල්ලීමක් කරනවා.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනුර කුමාර දිසානායක මහත්තයත්, මහේෂ් සේනානායක මහත්තයත් ඒ නිසා පැත්තකින් තිබ්බා, ඊළගට ඉන්නවා සජිත් ප්‍රේමදාස මහත්තයා, එතුමා එක්ක අපි යහපාලන ආණ්ඩුවේ කටයුතු කළා අවුරුදු ගණනාවක්, අපි එකට වැඩ කළා, එකට ඇමතිකම් කළා, අදටත් අපේ පක්ෂයේ නායකතුමා මේ රටේ රාජ්‍යය නායකයා, ආණ්ඩුවේ නායකයා.

    ඊළගට අපිට ඉන්නවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා, එතුමා එක්කත් අපිට පහුගිය කාළයේ ප්‍රශ්න තිබුණා. ඒ පක්ෂයත් එක්කත් අපිට ප්‍රශ්න තිබුණා, ඒ නිසා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී වෙනම ගමනක් යනවා, පොහොට්ටුව වෙනම ගමනක් යනවා අපි වෙනම මතවාදයන් දරනවා ,වෙනම අපේක්ෂකයන් දානවා.මැතිවරණයේදී කට්ටියක් දිනනවා, කට්ටියක් පරදිනවා. පහුගිය කාළයේ අපි පක්ෂ දෙකක් විදිහට හැසිරිලා තියෙනවා. එහෙම නම් අපි කොහොමද දැන් මේ පක්ෂයත් එක්කත් එකතු වෙන්නේ. ඒ නිසා තමයි අපි සාකච්ජා පැවැත් වූවේ, දීර්ඝ කාළයක් සාකච්ජා කලේ. කලින් හිටිය නායකයෝ ටික වුණාට දැන් පක්ෂ දෙකක්, පුද්ගලයෝ එකයි හැබැයි පක්ෂ දෙකකට බෙදිලා තමයි අපි දැන් කටයුතු කරන්නේ. එහෙම නම් අපි කොහොමද එකතු වෙන්නේ මේ තැනේදී, ඒ නරක ටික පැත්තකින් තියලා වර්ථමානයේ හොද ටික ඉස්සරහට ගෙනයන්නත්, අනාගතයේදී මේ රට නිවැරදි තැනක තියන්නත් අපිට කැපවීම් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වෙනුවෙන් පක්ෂ දෙකම තම තමන්ගේ කැපවීම් කරලා අද අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා එක අපේක්ෂකයෙක් වටා ඒකරාශී වෙන්න. මේ මැතිවරණය තුළ අපි කාර්යාල දාන්න මහන්සි වෙන්නේ නෑ, හංදි ගානේ අපි රැස්වීම් තියන්නේ නෑ,අපේ වගකීම වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමි ඡන්ද ලක්ෂ 17 ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට ලබා දෙන එක. ඒක කරන්න ලේසීමත් නෑ. අපි උඩින් යාලු වුණාට ගිවිසුම් අත්සන් කර ගත්තට, තාම ගමේ අමනාපකම් තියෙනවා. ප්‍රාදේශීය සභා මැතිවරණයේ වෙච්ච තරහා-මරහා තාම තියෙනවා. සමහර වෙලාවට තාමත් ප්‍රාදේශීය සභාවෙන් ලයිට් එකක් දාගන්න බැරි වුණා කියයි, ගියා උදව් කලේ නෑ කියයි. මේ වගේ අමනාපකම් තියෙනවා. හැමදාමත් වෙන්නේ ඒ ටිකනේ, ලොක්කෝ ටික යාලු වුණාට, ලොක්කෝ ටික එකතු වුණාට ගමේ වෛරය තාම තියෙනවා. අපි මේ කරන්නේ බොහෝම අමාරු වැඩක්, ඇති වුණ තරහාව නැති කරන එක අමාරුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි ආඩම්බර වෙන තවත් කාරණයක් තියෙනවා,1994 ඉදන් මේ රටේ ජනාධිතිවරු හදලා තියෙන්නේ යැයි ඔහු කියා සිටියේය.

     

     

    Latest News