වීරකැටිය එජාප කාර්යාලය මහරෑ මැර ප්‍රහාරයක්

ඔක් 24, 2019

    එක්සත් ජාතික පෙරමුණේ වීරකැටිය අනෝදාව පක්ෂ කාර්යාලයට ඊයේ (23) රාත්‍රී කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ. 

    හම්බන්තොට දිස්ත්‍රික් මැතිවරණ ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කරන ලද මෙම පක්ෂ කාර්යාලය ඊයේ (23) විවෘත කර ඇති අතර එදින රාත්‍රී 10.30 පමණ වන තෙක් එම පක්ෂ කාර්යාලයේ එජාප ආධාරකරුවෝ රැඳි සිටි ඇත.

    රාත්‍රී 10.30න් පසු මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර එම පක්ෂ කාර්යාලය ඉදිරිපිට සවි කර තිබූ ප්‍රචාරක දැන්වීම් දෙකක් කඩා දමා එක් දැන්වීමක් රැගෙන ගොස් ඇති අතර, කාර්යාලයේ සවි කර තිබූ විදුලි බල්බ ද ගලවාගෙන ගොස් ඇතැයි එම කාර්යාලය පවත්වාගෙන ගිය රජිත කුමාර මහතා කියයි.

    තවද එම කාර්යාලය ඉදිරිපිට සවිකර තිබූ කොඩිවැල් සහ කොඩි කණු ගලවා ඇති අතර පක්ෂ කාර්යාලය තුළ තිබූ පුටු පෙරළා දමා තිබූ බව ද ඔහු ප්‍රකාශ කළේය. එම පක්ෂ කාර්යාලයට වුණු හානිය නිරීක්ෂණය කිරීමට හිටපු පළාත් සභා මන්ත්‍රී නිහාල් වෙදආරච්චි (එ.ජා.ප) මහතාද පැමිණ සිටියේය.

    මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් පක්ෂ කාර්යාලය පවත්වාගෙන ගිය පුද්ගලයා විසින් වීරකැටිය පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් සටහන් කර ඇති අතර වීරකැටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතා ඇතුළු නිලධාරීහු මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

    Last modified on බ්‍රහස්පතින්දා, 24 ඔක්තෝබර් 2019 12:14

    Latest News