දිනමිණ කර්තෘ මණ්ඩලයේ මාධ්‍යවේදිනී කමණී අල්විස් මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

ඔක් 21, 2019

    දිනමිණ කර්තෘ මණ්ඩලයේ සේවයේ නියුතුව සිටි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනි කමනී අල්විස් මහත්මිය (61) හදිසියේ අභාවප්‍රාප්ත වූවාය.

    වසර 35කට අධික කාලයක් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ දක්ෂ මාධ්‍යවේදිනියක ලෙස කටයුතු කළ කමනී අල්විස් මහත්මිය සිය වෘත්තීය ජීවිතය ටයිම්ස් ආයතනයෙන් අරඹා 90 දශකයේ මුල් භාගයේ ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක් හවුස්) ආයතනයේ සේවයට එක්වූවාය. ජනතා පුවත්පතෙහි සේවය කරමින් සිටී ඇය පසුව දිනමිණ පුවත්පතේ කර්තෘ මණ්ඩලයට සම්බන්ධ වූවාය. ආරක්ෂක සහ පොලිස් පුවත් වාර්තා කිරීමේදී සුවිශේෂී හැකියාවක් ප්‍රදර්ශනය කළ ඇය නිරන්තරයෙන්ම සේවය සඳහා ඇප කැපව කටයුතු කළාය.

    පසුකාලීනව කාලීන දේශපාලනය සම්බන්ධ මාධ්‍ය ආවරණය කිරීමේදී කැපවීමෙන් හා උනන්දුවෙන් කටයුතු කළ ඇය ඉහළ නිලධාරීන් සහ දේශපාලන නායකත්වයන් සමීපව ඇසුරු කළ මනා සම්බන්ධතාවය ගොඩනගා ගනිමින් පාඨක ජනතාවට පුවත් ලබාදීමේදී මහත් කැපවීමෙන් කටයුතු කළාය. සිළුමිණ පුවත්පතේ ප්‍රවීණ මාධ්‍යවේදී සුනිල් දයා අල්විස් මහතාගේ ආදරණීය බිරිඳ වන ඇය ගීතක රවිඳු අල්විස් සහ සුචිනි අල්විස් යන දරු දෙදෙනාගේ මව වූවාය. කමනී අල්විස් මහත්මියගේ දේහය දැනට මාලබේ විහාර මාවත සෙරින්කොට්ස් හී අංක 225/45 නිවසේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු අද (21) සවස 5.30ට කොළඹ බොරැල්ල කනත්තේදී සිදුකෙරේ.

     

    දිනමිණ කර්තෘ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනි කමනී අල්විස් මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වූ අගමැතිතුමා

    kamani01.jpgkamani03.jpgkamani02.jpg

    Last modified on අඟහරුවාදා, 22 ඔක්තෝබර් 2019 17:03

    Latest News