පාඩු ලබන රාජ්‍ය ආයතන සියල්ලම ලාභ ලබන  ආයතන බවට පත් කරනවා...සජිත් ප්‍රේමදාස

ඔක් 20, 2019

    පොදු ජනතාවගේ ඉල්ලීම්වලට,මානව අයිතීන්වලට, ජනතා මතයටා සවන් නොදී රටේ පාලකයා ප්‍රජාතන්ත්‍රවාදය කෙලෙසන,මානව අයිතීන් කුඩු පට්ටම් කර මෙරට ජනතාව කනත්තට ගෙන යන සුදු වෑන් සංස්කෘතියක් නැවත මේ රටට අවශ්‍ය කියා ජනතාව බුද්ධිමත්ව සිතා බැලිය යුතු බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

    ඔහු මේ බව කියා සිටියේ නුවර,පාතදුම්බර,වත්තේගම නගරයේ පැවති ජන රැළියට ඊයේ (19) එක්වෙමින්. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා...

    " අද රටට අවශ්‍ය ජාතික ආරක්ෂාව ශක්තිමත් කරන, සම්බුද්ධ ශාසනයට මුල්තැන දී සෙසු ජාතීන්,ආගම් ආරක්ෂා කරමින් රට, ජාතිය,රණවිරුවන් සුරකමින් මිනිසා ජීවත් කරවන සොඳුරු නායකත්වයක්. එම නායකත්ව අභියෝගය සජිත් ප්‍රේමදාස භාර ගන්නවා.
    තම රජයක් යටතේ මෙරට ජාතික ආරක්ෂාව නියම යුද වීරයා වන සරත් ෆොන්සේකා මහතාට ලබා දෙන බවට ප්‍රකාශ කර දින කිහිපයක් යන්නට පෙර දෛවයේ සරදමක් ලෙස මාධ්‍යවේදිනියකගේ ප්‍රශ්නයක් ඉදිරියේ ප්‍රතිවාදී අපේක්ෂකයා සහ ඔහුගේ සහෝදරයාගේ බේරුම වෙනුවෙන් ලෝකය ඉදිරියේ රටේ සමස්ත රණවිරුවන් පාවා දී ඔවුන්ගේ බෙල්ලට තොන්ඩුව දැම්මා. කවුරුන් හෝ රට බේරාගත් රණවිරුවන්ට චෝදනා කරමින් ඔවුන්ගේ බෙල්ලට තොන්ඩුව දමන්න සූදානම් වෙනවා නම් රණවිරුවන් වෙනුවෙන් ඒ තොණ්ඩුව තමන්ගේ බෙල්ලට දමා ගැනීමට සූදානම්.
    අද රටේ මාධ්‍ය නිදහස උපරිමයෙන් තිබෙනවා. කිසිම මාධ්‍යකට අප ගරහන්නේ නෑ.ප්‍රතිවාදී අපේක්ෂකයාගේ පාලන සමයේ දී ලසන්ත වික්‍රමතුංග ඇතුළු මාධ්‍යවේදීන් විශාල පිරිසකට අත්වූ ඉරණම ඔබලාට මතක ඇති. එවන් යුගයක් සජිත් ප්‍රේමදාස ඔබලාට උදා කරන්නේ නෑ.

    තම රජය යටතේ මෙරට පාඩු ලබන රාජ්‍ය ආයතන සියල්ල ලාභ ලබන රාජ්‍ය ආයතන බවට පත් කරනවා. මෙතෙක් එම රාජ්‍ය ආයතන පවත්වාගෙන යාම සඳහා රජයේ සහන ලෙස ලබා දුන් කෝටි ප්‍රකෝටි ගණන් ජනතා මුදල් මින් ඉදිරියට පොදු ජන සම්පත කෙරෙහි අපි අයෝජනය කරනවා.

    ජන සවිය, සමෘද්ධි, පාසල් නිලඇඳුම්, දිවා ආහාරය මිනිස් සම්පත කෙරෙහි කෙරෙන ආයෝජනයක්. මේ රටේ ජනතාවට හැමදාව දුප්පතුන් ලෙස ජිවත් වෙන්නට බැහැ. ඔබලාව දුප්පත්කමින් මුදවාගෙන දෙපයින් නැගී සිටීමට ශක්තිමත් වන්නට, ඔබලාව සවිබල ගැන්වීමට රණසිංහ ප්‍රේමදාසගේ පුතා සූදානම්."

    මෙම ජන හමුවට ලක්ෂ්මන් කිරිඇල්ල, ලකී ජයවර්ධන, මුජුබර් රහුමාන්, තිලිණ බණ්ඩාර තෙන්නකොන්, ඉම්තියාස් බාකිර් මාකාර් යන මැති ඇමතිවරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

    Last modified on ඉරිදා, 20 ඔක්තෝබර් 2019 10:58

    Latest News