පා.ම. කුමාර වෙල්ගම හිටපු ජනපතිනි පැමිණි පසු SLFP ගොඩනැගීමේ සුදානමක් (විඩියෝ)

ඔක් 19, 2019
  • හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය දිවයිනට පැමිණි පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගීම සම්බන්ධව තීරණයක් ගන්නා බව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

    කිසිදු අන්දමකින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සම්බන්ධ නොවන බවත්, ජනාධිපතිවරණයේ දී ඔවුන්ගේ අපේක්ෂකයාට සහය පළ නොකරන බවත්, නුවරඑළියේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු කියා සිටියි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට වෙනත් පක්ෂවලට ගොස් නැවත පැමිණි පිරිස් අවස්ථාවාදී අන්දමින් හා තනතුරු ලෝභ කමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවා දී ඇතැයි, ඔහු පෙන්වා දුනි.

    මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිස් තමන්ව එම පක්ෂයට සම්බන්ධ කරගැනීමට විවිධ උපක්‍රම භාවිතා කරන බව ද කුමාර වෙල්ගම මහතා මෙහි දී කියා සිටියේය. පොදුජන පෙරමුණට ගැනීමට උපවාස කළත්, සම්බන්ධ නොවන බව ඔහු තරයේ අවධාරණය කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණ හා සම්බන්ධවීම තුළින් තම පක්ෂයේ පිරිසක් හංසයා ලකුණෙන් තරග වදින සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරීම සඳහා ඉදිරිපත් වුවද, ඔවුන් තවදුරටත් පක්ෂයේ සාමාජිකයන් බව ද ඔහු පෙන්වා දුන්නේය.ඉදිරියේ දී එම පිරිස් නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පැමිණෙනු ඇති බවට ද විශ්වාසය පළ කළේය.

    මෙවර ජනාධිපතිවරණයේ දී පිරිසක් හංසයා වෙත ගිය ද පාක්ෂිකයින් තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන් බලාපොරොත්තුවෙන් සිටින බවයි මෙම මාධ්‍ය සාකච්ජාවේ දි ඔහු පවසා සිටියේ. ඒ අනූව, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය සමග එක්ව පක්ෂය ගොඩනගන බවත් අවශ්‍ය නම් නායකත්වය උවද භාරගැනීමට සූදානම් බව ද ඔහු කියා සිටියේය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසියම් පදනමක් මත බිහිවූ පක්ෂයක් බවත් එය රටේ ජනතාවට සේවය කිරීමට බණ්ඩාරනායක ශ්‍රීමතානන් විසින් බිහිකළ පක්ෂය බැවින් තවදුරටත් රැක ගැනීම වෙනුවෙන් කැපවී සිටින බව ඔහු පෙන්වා දුනි.

    Last modified on සෙනසුරාදා, 19 ඔක්තෝබර් 2019 12:22

    Latest News