විමල්ගේ අධ්‍යාපනය සහ සමාජ මට්ටම ඟැන පා.ම. එස්.බී. ට කණගාටුවක්

ඔක් 18, 2019

    හොර උප්පැන්න හෝ හොර පාස්පෝට් පිළිබඳ චෝදනා තමන්ට නොමැති බව, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.

    විමල් වීරවංශ මහතා ඔහු සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් දිසානායක මහතා අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය.

    “පසුගිය දිනක විමල් වීරවංශ මහතා විසින් එතුමා පිළිබඳව කරන ලද ප්‍රකාශයක් පිළිබඳව අදහස් දැක්විය. විමල් වීරවංශ යන නම භාවිතා නොකරමින් දේශපාලඥයෙකු විසින් කරන ලද ප්‍රකාශයක් වශයෙන් හඳුන්වා දෙමින් දිසානායක මහතා ප්‍රකාශ කළේ තමන් හිරගෙට ගියේ හොර පාස්පෝට් හදලවත් හොර උප්පැන්න හදලවත් නොවන අතරම තම අමාත්‍යංශයට අයිති ගෙවල් පවුලේ ඥාතීන්ට ලබාදීලවත් නොවන බවයි. මෙම දේශපාලකයා විසින් මෙවැනි ප්‍රකාශ කරන්නේ තමන් පිළිබඳව ඇති වෛරයකින් හා ඊර්සියාවට බව ද ප්‍රකාශ කළ අතර ඔහුගේ අධ්‍යාපන හා අනෙකුත් සුදුසුකම් දෙස බලා ඔහුත් සමඟ විවාදයකට යෑමට අදහසක් නොමැති බව ද ප්‍රකාශ කළේය.

    තමන් කරන ලද සේවයන් පිළිබඳව මහින්ද, ගෝඨාභය, බැසිල් යන මහත්වරුන් හොඳින් දන්නා බව ද ප්‍රකාශ කළ එස්.බී. දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ මේ අවස්ථාවේ සිදු කළ යුත්තේ මෙවැනි ප්‍රකාශ කිරීම නොවන බවත් දැනට ජාතියේ අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වී සිටින ගෝඨාභය රාජපක්‍ෂ මහතා දිනවීම සඳහා කටයුතු කිරීම බවත්, එමගින් මහින්ද-ගෝඨාභය සුසංයෝගය මගින් රටට යහපතක් කිරීම බවයි. තමන් හිරගෙට ගියේ එවකට ශ්‍රී ලංකාවේ අධිකරණයේ සිටි දුෂිතම නිලධාරියා විවේචනය කිරීම නිසා බවත් ඔහු පිළිබඳව මුලු රටම දන්නා බවත්, ප්‍රකාශ කළ එස්.බී. දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ එම දුෂිත නිලධාරියා විසින්ම අසන ලද නඩුවෙන් තමන් හිරගෙට යැවූ බවයි. එයට එරෙහිව තමන් ජාත්‍යන්තර අධිකරණයට පැමිණිළි කිරීමෙන් පසුව එම අධිකරණය ස්වාධීන නඩු විභාගයක් පවත්වා තමන් නිදොස් කොට නිදහස් කළ බවත්, සිදුවූ අසාධාරණයට රජයට වන්දි ගෙවීමට ද නියෝග කළ බවයි.

    එම නිසා මෙවැනි වෛරී ඊරිසියා ප්‍රකාශ කිරීම නවතා ජාතියේ අපේක්‍ෂකයා ජයග්‍රහණය කිරීමට කටයුතු කළ යුතු බවත්, ඒ සඳහා සෑම දෙනාම යොමු විය යුතු බවයි“ එස්.බී. දිසානායක මහතා කියා සිටියේ.

    Latest News