වැලිකඩ සිට මෙහෙයවූ මත්කුඩු ජාවාරම දෙහිවල සත්වෝද්‍යානයෙන් හෙළිවෙයි

ඔක් 17, 2019

    දෙහිවල,කඩුඩාන ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 100ක් සමග සැකකරුවෙක් අත්අඩංගුටව ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ලද තොරතුරක් මත ඊයේ සවස වැටලීම සිදුකෙරිණ.

    34 හැවිරිදි කසුන් ෂෙහාන් කළුවිතාරණ නම් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් පසුව එම ප්‍රදේශයේ දීම හෙරොයින් ග්‍රෑම් 100ක් සමග තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනිණ. 41 හැවිරිදි ඔහු නාලක පුෂ්පකුමාර වන කළුබෝවිල පදිංචිකරුවෙක්. මෙම සැකකරු දෙහිවල සත්ව උද්‍යානයේ සේවකයෙකු ලෙස කටයුතු කරන අතර ඔහුගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව දෙහිවල සත්ව උද්‍යානය තුල තිබූ සැකකරුගේ කබඩ් එකක සඟවා තිබූ තවත් හෙරොයින් ග්‍රෑම් 400ක් සොයා ගැනිණ. මොහු සත්ව උද්‍යානය තුල හෙරොයින් සඟවා තබාගෙන ජාවාරම් කරන බවට ඒ අනූව අනාවරණය වී ඇත.

    තවතදුරටත් ප්‍රශ්න කිරීම්වල දී සුඛෝපභෝගී මෝටාර් රථයක් පරීක්ෂාවකට ලක්කිරීමෙන් පසු රියදුරු සතුව තිබී ග්‍රෑම් 68ක හෙරොයින් හා ලක්ෂ 20ක මුදල් සොයා ගෙන තිබේ. 34 හැවිරිදි සන්සුදීන් මොහොමඩ් ජුනේදීන් නමැති ඔහු අම්බලන්තොට, පුංචි පල්ලිය අසළ පදිංචිකරුවෙක්. ඔහු සතුව තිබී නවීන පිස්තෝලයක්, එම මැගසින් 01ක් හා 9mm සජීව පතරොම් 5ක් සොයා ගැනිණ. මොහොමඩ් ජුනේදීන් නමැති සැකකරු පසුගිය 12 වැනි දින කටුබැද්ද ප්‍රදේශයට පැමිණ එහි හෝටලයක නවාතැන් ගෙන සිට තිබේ.

    මෝටර් රථය කුලී පදනම මත ලබාගෙන ඇති අතර මෙම හෙරොයින් ජාවාරම දැනට වැලිකඩ බන්ධනාගාරයේ සිටින සැකකරුවෙක් විසින් මෙහෙයවා ඇති බවට පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අනාවරණය කරගෙන තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 17 ඔක්තෝබර් 2019 10:44

    Latest News