එස්.බී.ට පුළුවන් ලොකුම උදව්ව ඡන්දේ ඉවර වෙනකල් කට වහ ගන්න එක - විමල්

ඔක් 17, 2019

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතාට කළ හැකි ලොකුම උදව්ව නම් ජනාධිපතිවරණය අවසන් වන තුරු කට පියාගෙන සිටීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

    නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතාගේ සහාය ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිවන බව ඇතුළුව එස්.බී. දිසානායක මහතා විසින් සිදු කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයන් කිහිපයක් පිළිබඳව අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව ප්‍රකාශ කළේය.

    "එස්.බී. දිසානායක මහත්තයා කියන කතා ගැන නම් කතා කරලා වැඩක් නෑ. එතුමා කතාව හොඳ හින්දානෙ කතාවක් වැරදිලා හිරේ පවා ලැගලා හිටියෙ. ඒ එතුමාගෙ කතාවල තියෙන වටිනාකමේ ප්‍රමාණය. ඉතිං ඒ කතා ගැන නම් මට කතා කරන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. එතුමා එතුමාගෙ කට වහගෙන ඉන්න තරමට තමයි අපෙ මැතිවරණයට එතුමා කරන ලොකුම උදව්ව." යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

    විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කරන කලාකරුවන් පිරිසක් සමඟ ඊයේ (16) පැවැත්වූ මාධ්‍ය හමුවකදී නැඟුණු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

    Last modified on බ්‍රහස්පතින්දා, 17 ඔක්තෝබර් 2019 12:00

    Latest News