ඇවන්ගාර්ඩ් සභාපති 11/08 තෙක් රිමාන්ඩ්: අධිකරණය මග හැරි බවටත් චෝදනාවක්

ඔක් 17, 2019

    Update - ගාලු වරාය ආසන්න මුහුදු තීරයේ එම්. වී. ඇවන්ගාඩ් නෞකාව තුළ නිසි බලපත්‍රයක් නොමැතිව ගිනිඅවි සහ ජීව උණ්ඩ තබා ගැනීමේ සිද්ධියට චෝදනා එල්ල වී සිටින ඇවන්ගාර්ඞ් මැරිිටයිම් සර්විස් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතා රිමාන්ඩ් භාරයට පත් කිරීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

    නඩුව නැවත නොවැම්බර් මස 8 වනදා කැඳවීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කෙරිණ.

    ධම්මික ගනේපොල, ආදිත්‍ය පටබැඳිගේ සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබාදී තිබේ.

    තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ධම්මික ගනේපොල මහතා විවෘත අධිකරණයේ කියා සිටියේ විත්තිකරු අවස්ථා කීපයකදීම සැලසුම්සහගතව අධිකරණය මගහැර යාමට ක්‍රියා කර ඇති ආකාරයක් පෙනීයන බවයි. ඔහු අධිකරණ ක්‍රියාදාමය අයුතු ලෙස පරිහරණය කර ඇති බව සඳහන් කර සිටී විනිසුරු ගනේපොල මහතා ගාලු මහේස්ත්‍රාත් අධිකරණය මගින් විත්තිකරුට එරෙහිව පනවා තිබූ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගය පිළිබඳව ඔහු මෙම මෝසම මගින් කරුණු ඉදිරිපත් නොකිරීම පිළිබඳව දෝෂදර්ශනයට ලක් කර සිටියේය.

    මෝසමක් මත මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගත් ඇවන්ගාඩ් සමාගමේ අධිපති නිශ්ශංක යාපා සේනාධිපති මහතා අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.

    ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා කරුණු දක්වමින් තම සේවාදායකයාට රෝගී තත්ත්වයන් තුනක් සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඔහු සිංගප්පුරුව බලා ගොස් සිටි බව සඳහන් කර කළේය. අත, උරහිස සහ සුසුම්නාව සම්බන්ධ රෝගී තත්ත්වයන් වෙනුවෙන් ඔහු එහිදී ප්‍රතිකාර ලබාගත් බව සඳහන් කර සිටි නීතිඥවරයා අගෝස්තු මස 01 වනදා ඔහු එරටදී ශල්‍යකර්මයකට භාජනය කෙරුණු බව පැවසිය.

    තවත් ශල්‍යකර්මයක් මේ මස 21 වනදා සිදු කිරීමට නියමිතව තිබෙන බවත් එම ශල්‍යකර්මය සිදුකිරීමෙන් පසුව සති හතක් පමණ විවේකීව සිටිය යුතු බවට වෛද්‍යවරු විසින් උපදෙස් ලබාදී ඇති හෙයින් නීති ගරුක පුරවැසියකු වශයෙන් මෙම නඩුවට පෙනී සිටීම සඳහා ඔහු අද දින අධිකරණයට පැමිණි බවද නීතිඥ අජිත් පතිරණ මහතා පැවසීය. එබැවින් විත්තිකාර සේනාධිපති මහතාට ඇප නියම කරන ලෙසයි නීතිඥ අජිත් පතිරණ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

    එම ඉල්ලීමට විරෝධය පළ කළ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා කියා සිටියේ විත්තිකාර නිශ්ශංක සේනාධිපති අධිකරණය මඟ හැර පලා ගිය පුද්ගලයකු බවයි. ඔහු විසින් අද දින ඉදිරිපත් කරන ලද මෝසම් පත්‍රය මගින් සඳහන් කර තිබෙන්නේ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීම පමණක් බවත් මෙම ඇප ඉල්ලීම් සම්බන්ධයෙන් එම මෝෂන් පත්‍රයෙහි කිසිදු සදහනක් නොමැති බවත් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා චෝදනා කර සිටියා.

    පුද්ගලයෙකුගේ ධනය, බලය සහ සමාජ තත්වය මත ක්‍රියා නොකිරීමට වගබලා ගත යුතු බවත් මහජන විශ්වාසය ඉහළින්ම පවතින ආයතනය අධිකරණය පමණක් බවත් සඳහන් කළ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා එබැවින් විත්තියේ ඇප ඉල්ලීමට තරයේ විරුද්ධ වන බව සඳහන් කළේය.

    දීර්ඝ කරුණු සලකා බැලීමකින් පසුව විත්තිය විසින් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව ප්‍රතිකර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරිණ.

    2014 වසරේ අප්‍රේල් 7 වනදා සහ 2015 වසරේ ඔක්තෝබර් 6 වනදා අතර කාලසීමාව තුළ හික්කඩුව මුහුදු තීරයේ එම්. වී. ඇවන්ගාඩ් නැමැති නෞකාව තුළ නිසි බලපත්‍රයක් හෝ නිසි අවසර පත්‍රයක් නොමැතිව ස්වයංක්රීය ගිනි අවි 816 ක් සහ උණ්ඩ 200935 ක් තබා ගැනීම සම්බන්ධයෙන් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව චෝදනා 7574 ක් යටතේ මෙම නඩුව ගොනුකර තිබේ.

    ඇවන්ගාඩ් සභාපති ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට (07.53)

    ඇවන්ගාඩ් මෙරිටයිම් සර්විස් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී අද (17 ) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

    සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.468 දරන ගුවන් යානයෙන් ඊයේ රාත්‍රී 11.35 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 17 ඔක්තෝබර් 2019 18:37

    Latest News