යුද ජයග්‍රහණය ගැන ගෝඨාභය වසර 10ක් ලෝකයට කිව්වේ බොරුවක්; අමාත්‍ය සජිත්

ඔක් 16, 2019

    30 වසරක ත්‍රස්තවාදය පරාජය කර යුද ජයග්‍රහණය ලබා ගත්තේ තමන් සහ තම පවුලේ අය බවට වසර 10ක් තිස්සේ රටටත්, ලෝකයාටත් සිදු කළ ඒ මහා බොරුව ප්‍රතිවාදී ජනාධිපති අපේක්‍ෂකයා මුවින්ම හෙළිවීම දෛවයේ සරදමක් බව, සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකවරයා මේ බව කියා සිටියේ, කුරුණෑගල, දොඩම්ගස්ලන්ද ජයන්ති ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවකට එක්වෙමින්. ජන හමුවට පැමිණි සජිත් ප්‍රේමදාස මහතාට පැමිණි සිටි ජනතාවගෙන් හිමිවුයේ උණුසුම් පිළිගැනීමක්.

    ජන රැළිය ඇමතූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා...

    “යුද ජයග්‍රහණය පේටන් බලපත්‍රයකින්, සින්නක්කර ඔප්පුවකින් පවුලටම ලියාගෙන තිබුණේ. ඊයේ දවසේ දෛවයේ සරදමක් හැටියට සත්‍ය හෙලිවුණා. යුද ජයග්‍රහණයේ සින්නක්කර ඔප්පුව කැන්සල් වුණා. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමා මේ රටේ යුද ජයග්‍රහණය මෙහෙයවපු විරෝධාර සෙන්පතිවරයා ඔහුයි කියන එක මගේ ප්‍රතිවාදියාට එළි පිටම කියන්න සිද්ධ වුණා. යුද සෙන්පතිවරයා බලය තියෙන කාලේ මගේ ප්‍රතිවාදියා ප්‍රමුඛ ඔහුගේ සහෝදරයා ප්‍රමුඛ කණ්ඩායම මොකද කළේ යුද්ධය දිනපු මනුස්සයාව හිර ගෙදරට ඇඳලා දැම්මා. ජනාධිපතිවරණයට අපේක්‍ෂකයෙක් හැටියට වුණැයි කියලා. සියලු දෙනාම දන්නවා රට, දැය බේරාගන්නට ගිහිල්ලා ෆොන්සේකා මැතිතුමාගේ ඇගේ බෝම්බ කෑලිත් තියෙනවා. බෝම්බ කෑලි ඇගේ ඇණනකොට වාවාගන්න බැරි දුකක් සිද්ධ වුණේ. හිරගෙදර ඉන්නකොට කූඹි ඉන්න කෑම කෑවේ. එදා දේශප්‍රේමීන් කියන කණ්ඩායම මේ ප්‍රතිවාදි ඇත්තෝ ක්‍රියාත්මක කළේ. මම මේ රටේ ජාතික ආරක්‍ෂාව, මේ රටේ නීතිය, සාමය මෙහෙයවීමේ ඒ භාරධූර කාර්ය මම සැබෑ යුද වීරයා වන සරත් ෆොන්සේකා බාර දීලා තියෙනවා. සැබෑ විරයෝ ඉන්නකොට ඩුබ්ලිකේට් වීරයෝ අවශ්‍ය නැහැ. මගේ ප්‍රතිවාදියා තමයි රටේ වාර්තාවක් තියලා තියෙන්නේ යුද හමුදාවේ නිලධාරීන් එක පෑන් පහරින් අස් කරපු පුද්ගලයා හැටියට ලෝක වාර්තාවක් තියලා තියෙන්නේ. බ්‍රිගේඩියර්ලා එක පෑන් පහරින් අස් කළා. කර්නල්ලා, කැප්ටන්ලා ගෙදර යැව්වා. පැය 24ක් තුළ මේ වගේ ක්‍රියාදාමයක් රණවිරුවන්ට ඉෂ්ඨ කරපු පුද්ගලයාට පුලුවන් ද රටට සාධාරණත්වයක් ඉෂ්ඨ කරන්න“ යැයි සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    Latest News