11ක් අතුරුදහන් කිරිමට කරන්නාගොඩට නීතිපතිගෙන් අධි චෝදනා

ඔක් 15, 2019

    2008 - 2009 වසරවල දී 11 ක් අතුරුදන් කිරීමට හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට අධිචෝදනා ගොනු කිරීමට නීතිපති උපදෙස් ලැබි ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතාට අද දැනුම් දුන්නේය.

    සිද්ධියට අදාළව මේ වනවිට ඇප මත මුදා හැර සිටින පළමු සැකකරු වන නිලන්ත සම්පත් මුණසිංහ,ව්‍යාපාරික ඇන්ටන් ප්‍රනාන්දු යන දෙදෙනා අධිචෝදනා ගොනු කිරීමට තීරණය කර ඇති අනෙකුත් සැකකරුවන් දෙදෙනා වෙයි.

    මෝසමක් ගොනු කරමින් මේ බව අධිකරණයට කියා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සිද්ධිය සම්බන්ධයෙන් වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගෙන නැති බැවින් අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසියක් නිකුත් කරන මෙන් ඉල්ලා සිටි අතර මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

    වසන්ත කරන්නාගොඩ මහතාට අධිකරණයේ පෙනී සිටින ලෙස නොතිසියක් නිකුත් කිරීමට නීතියේ ප්‍රතිපාදන නැති බව කියා සිටි මහේස්ත්‍රාත්වරයා රජයේ නීතිඥවරයෙක් හරහා, එම ඉල්ලීම සිදු කරන්නේ කුමන වගන්තිය යටතේ ද යන්න අධිකරණයට දන්වා සිටින ලෙස දැනුම් දුන්නා.

    වසන්ත කරන්නාගොඩ මහතාට අධිචෝදනා ගොනු කිරීමට රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයකුගේ මූලිකත්වයෙන් කෙටුම්පත් කරමින් සිටින බව නිශාන්ත සිල්වා මහතා අධිකරණයට දන්වා සිටි අතර වසන්ත කරන්නාගොඩ මහතා 16 වන සැකකරු ලෙස මේ වනවිටත් නම් කළ හැකි බව මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා සිටියේය.

     

     

    Latest News