සජිත් සමඟ ඕනෑම නාලිකාවක විවාදයකට ගෝඨාභයට ඇරයුමක්: මරික්කාර්

ඔක් 15, 2019

    ඡන්දදායකයාට වැදගත් වන රටේ අනාගත ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා සමඟ ප්‍රසිද්ධ විවාදයකට එක්වන ලෙස, එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපති ධූර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාට අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

    ඒ, කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී. එහිදී අදහස් දැක්වූ මරික්කාර් මහතා....

    “මුළු රටක් සමාජයක්, අනාගතයක් මෙහෙයවන ප්‍රතිපත්තිවල තරගයක් මේක. සජිත් ප්‍රේමදාස මහත්මයාගේ වැඩපිළිවෙළත්, ප්‍රතිපත්තියත්, ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයාගේ වැඩපිළිවෙළත්, ප්‍රතිපත්තියත් සම්බන්ධව සජිත් ප්‍රේමදාස මැතිතුමා සමඟ ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා නම් කරන ඕනෑම නාලිකාවක එතුමට කඩේ යන සමහර ජනමාධ්‍ය ඉන්නවනේ. ඒ ජනමාධ්‍ය නාලිකාවක වුණත් අපි කැමතියි විවාදයකට එන්න. එතුමට ඕනේ නම් ටෙලිෆ්‍රොම්ටර් එක අරගෙන එන්න පුලුවන්. ජනතාවට ප්‍රතිපත්ති පිළිබඳව දැනගැනීමේ අයිතිය තහවුරු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා“. යැයි මරිකාක්කාර මහතා පැවසීය.

    ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ පුරවැසිභාවය ඉවත්කර ගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ කෙරිණ.

    “ ඉවත් කරගත්තැයි කියන්නේ ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයාගේ විතරයි. ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයාගේ බිරිඳගේ සහ පුතා‍ගේ පුරවැසි භාවය අයින් කරගෙන නැහැ. එතුමාගේ බිරිඳගේ ඡන්දෙත් නැහැ එතුමට. පුතාගේ ඡන්දෙත් නැහැ. ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයා ජයග්‍රහණය කළොත් දේශමාමක කට්ටිය කැමති ද ශ්‍රී ලංකාවේ මුල් පුරවැසියගේ බිරිඳ සහ පුතා අමෙරිකානු ජාතිකයෙක් වෙනවට. අමෙරිකාවත් එක්ක වෙළෙඳ, ආර්ථික, ආරක්‍ෂක ගිවිසුම් ගහනකොට ඒ බලපෑම අපේ රටේ මුල් පුරවැසියට සහ අපේ රටට බලපාන්නේ නැද්ද“ යැයි එස්.එම්. මරික්කාර් මහතා කියා සිටියේය.

    Last modified on අඟහරුවාදා, 15 ඔක්තෝබර් 2019 18:48

    Latest News