සජිත්ගේ පාලනය යටතේ සරත් ෆොන්සේකාට ජාතික ආරක්ෂාවේ වගකීම

ඔක් 10, 2019

    තමාගේ පාලන කාලය තුළ රටේ ආරක්‍ෂාව පිළිබඳ වගකීම ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වෙත පවරන බව, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ, ජනාධිපතිධූර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    අද පැවති එක්සත් ජාතික පෙරමුණේ, මංගල ජන රැලියේදී ඒ මහතා මේ බව කියා සිටියේය.

    එහිදී අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා....

    “ජාතික ආරක්‍ෂාව තහවුරු කරන්නට නම් , ජාතික ආරක්‍ෂාවේ වගකීම දෙන්න ඕනේ සෝභන කාරයින්ට නොවෙයි රණවිරුවන්ගේ කරපිටින් තමන්ට ගෞරවය ලබාගන්න ඇත්තන්ට නෙමෙයි. යුද්ධය ජයග්‍රහණය කරලා ඔප්පු කරපු අයටයි. තමන්ගේ ඇස්, හිස්, මස්, ලේ පරිත්‍යාග කරලා මේ රටේ යුද ජයග්‍රහණයට, 30 වසරක යුද සාපයට රණබිමේ ඉඳලා ඒ විශිෂ්ඨ නායකත්වය ලබාදුන් ෆීර්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමාට. මේ රටේ ජාතික ආරක්‍ෂාවේ ඉහළම වගකීම මේ සජිත් ප්‍රේමදාස බාර දෙනවයි කියන එක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරනවා. සරත් ෆොන්සේකා මැතිතුමා ගැන ඔබ සියලු දෙනාම දන්නවා. එතුමා කාඩ්බෝඩ් වීරයෙක් නෙමෙයි. එතුමා රට දිනවපු, ත්‍රස්තවාදය විනාශ කරපු මහ පොළොවේ සදා වීරයෙක් කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අනාගත අපේ රජයක් තුළ අපිට පුද්ගලික මතිමතාන්තර වැඩක් නැහැ. වාද-භේද වැඩක් නැහැ. මම බලන්නේ වැඩ කාරයෝ ටික එකතු කරලා මේ රට ගොඩනඟන්නයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. සරත් ෆොන්සේකා මැතිතුමා මේ රටට ඉෂ්ඨ කරපු ඒ කර්තව්‍යයට එතුමට කෙළෙහි ගුණ දැක්වුයේ ජම්පර් අන්දලා. මම කියන්න කැමතියි අපේ රජයක් තුළ දේශපාලඥයන් කාටවත් ජම්පර් අන්දන්නේ නැහැ. ජම්පර් අන්දන එක තීරණය වන්නේ අධිකරණයෙන් බව මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි“ යැයි සජිත් ප්‍රේමදාස මහතා පැවසිය.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 10 ඔක්තෝබර් 2019 20:59

    Latest News