ආසිරිගම ග්‍රාමශක්ති ගම ජනපති අතින් ජනතා අයිතියට (වීඩියෝ)

ඔක් 09, 2019

    රුපියල් ලක්ෂ 800ක වියදමින් සංවර්ධනය කෙරුණු පළුගස්වැව, ආසිරිගම ග්‍රාමශක්ති ගම්මානය ජනපති අතින් ජනතා අයිතියට පත් කෙරේ.

    ග්‍රාමශක්ති ජනතා වැඩසටහන යටතේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මඟපෙන්වීමෙන් රුපියල් ලක්ෂ 800ක වියදමින් සංවර්ධනය කෙරුණු අනුරාධපුර, පළුගස්වැව, ආසිරිගම ගම්මානය ජනතා අයිතියට පවරාදීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (09) පෙරවරුවේ සිදු විය.

    2018 දෙසැම්බර් 21 වනදා ජනාධිපතිතුමා පළුගස්වැව, ආසිරිගම ගම්මානයේ නිරික්ෂණ චාරිකාවක නිරත වූ අතර එහි දී ජනතාව තම දුෂ්කර ජීවිතය පිළිබඳ ගැටලු රැසක් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළහ.

    එහි දී ජනතාවට ලබාදුන් පොරොන්දුව අනුව දිළිඳුකම පිටුදැකීම උදෙසා ජනාධිපතිතුමා විසින් ආරම්භ කළ ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ සාමාජික ගම්මානයක් ලෙස යුද හමුදාවේ ද සහාය ඇතිව ආසිරිගම සක්‍රීය ව සංවර්ධනයට ලක් කෙරිණි.

    ප්‍රදේශයේ විහාරස්ථානයේ අඩුපාඩු සම්පූර්ණ කිරීම, පාසලේ නව ගොඩනැඟිලි ඉදිකිරීම ඇතුළු සංවර්ධන කටයුතු සහ පෙර පාසල් දෙකක් ඉදිකිරීම, සේවා පියස ගොඩනැඟිල්ලක් ඉදිකිරීම මෙන්ම මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම ද මේ යටතේ සිදු විය. ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධාන ගැටලුවක් වූ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් ද කඩිනමි පියවර ගැනිණි. ආසිරිගම ජනතාවගේ නිවාස අවශ්‍යතා සපුරාලමින් නිවාස 43ක් ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරුණු අතර ඒ යටතේ වැඩ නිම කළ නිවාස 22ක් ජනතා අයිතියට පවරාදීම අද ජනාධිපතිතුමා අතින් සිදු විය.

    තම ඉල්ලීම්වලට ඇහුම්කන් දෙමින් ඒවා ඉටුකර දීමට කටයුතු කිරීම පිළිබඳව මෙහි දී ප්‍රදේශවාසී ජනතාව තම කෘතවේදිත්වය ජනාධිපතිතුමා වෙත පළ කර සිටියහ.

    මෙම උත්සව සභාව අමතමින් ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ ග්‍රාමීය ජනතාවගේ දුප්පත්කම වැඩිවීමට ප්‍රධාන හේතුවක් වන්නේ මත්ද්‍රව්‍ය බව යි. මත්ද්‍රව්‍යවලට එරෙහිව පුළුල් වැඩසටහන් රජය දියත් කළේ එබැවින් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා අනාගතයේ දී යහපත් රටක් ගොඩනැඟීමට මත්ද්‍රව්‍යවලින් නිදහස් ගමක් ගොඩනැගිය යුතු බව ද කියා සිටියේය.

    නව නිවාස ජනතා අයිතියට පවරාදීම සංකේතවත් කරමින් නිවාස දෙකක් විවෘත කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය. අනතුරුව පැවති උත්සව සභාවේ දී සෙසු නිවාසලාභීන් වෙත යතුරු ප්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

    උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    මේ අතර කැකිරාව මධ්‍ය විද්‍යාලයීය දූ දරුවන්ගේ ගුණාත්මක අධ්‍යාපන අභිවෘද්ධිය උදෙසා අභිනවයෙන් ඉදිකළ “පී.බී අබේකෝන්” නව ශ්‍රවණාගාරය අද සිසු අයිතියට පවරා දුන්නේ ද ජනාධිපතිතුමා අතිනි.

    රුපියල් ලක්ෂ 450ක වියදමින් සියලු පහසුකම්වලින් සමන්විතව මෙම ශ්‍රවණාගාරය ඉදිකර තිබෙන අතර හිටපු ජනාධිපති ලේකම්වරයෙකු සහ කීර්තිධර රාජ්‍ය නිලධාරියෙකු වූ කැකිරාව මධ්‍ය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය පී.බී. අබේකෝන් මහතා නමින් එය නම් කර තිබේ.

    විදුහල්පති අයි.එම්. දයාරත්න බණ්ඩාර මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    පළුගස්වැව, ආසිරිගම ගම්මානය ජනතා අයිතියට පත් කරමින් ජනාධිපතිතුමා පළ කළ අදහස්...

    “ගිය අවුරුද්දේ මම තමුන්නාන්සේලාගේ මේ ගම්මානයට හදිසියේම වාගේ පැමිණි අවස්ථාවේ මේ ගමේ බොහෝ අඩුපාඩු තිබෙන බව තමුන්නාන්සේලා ප්‍රකාශ කළා. ඒ බව තේරුම් ගත් මම ඒ අවස්ථාවේ දීම මගේ නිලධාරීන්ට උපදෙස් දෙමින් එම අඩුපාඩු සියල්ලම සපුරාලන ලෙස දන්වා සිටි වග තමුන්නාන්සේලාට මතක ඇති. ඒ අනුව යුධ හමුදාවේ නිලධාරීන් සම්බන්ධ කරගෙන මේ ගම සම්පූර්ණයෙන්ම සංවර්ධනය කරන්නට කටයුතු කරනු ලැබුවා. ඒ අනුව තමයි මේ වනවිට විශාල වැඩ කොටසක් සිදුවී තිබෙන්නේ. ඒ පිළිබඳව මම ඉතාමත්ම සතුටු වෙනවා.

    ඒවාගේ ම ඉදිරි මාසයක් දෙකක් යන විට දැනට කරගෙන යන වැඩ අවසන් වෙනවා. ඒ පිළිබඳවත් මා ඉතාමත් සතුටු වෙනවා. මේ වාගේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉතාම දුෂ්කර, ඈත එපිට, කැලෑබද ප්‍රදේශයක බොහෝ අඩුපාඩු, ප්‍රශ්න රාශියක් සහිතව, ජීවිතේ සැප සම්පත් විඳින්නේ නැතුව ඉතාම දුෂ්කර ජීවිතයක් ගත කරන තමුන්නාන්සේලා වැනි පිරිසකට මේ අයුරින් සේවාවන් ලබා දෙන්නට හැකි වීම පිළිබඳ මම ඉතාමත් ම සතුටු වෙනවා.

    මේ වැඩසටහන මඟින් පන්සලේ අඩුපාඩු හැදිලා තිබෙනවා, පාසලේ ගොඩනැඟිලි සෑදී තිබෙනවා, පෙරපාසල් දෙකක් සෑදී තිබෙනවා, මාර්ග සංවර්ධනය වෙලා තිබෙනවා, වැවේ වැඩකටයුතු දැනට බොහෝ ඉවර කර ගෙන යනවා. ඉදිරි මාස වන කොට බොහෝ වැඩකටයුතු අවසන් වෙනවා. ඒ වාගේම ගමේ මාර්ග සෑදී තිබෙනවා. ඒදා කියැවුණු ප්‍රධාන ප්‍රශ්නයක් තමයි සනීපාරක්ෂක පහසුකම් නොමැති ප්‍රශ්නය. දැනට ඒ ප්‍රශ්නයත් අපි විසඳලා තිබෙනවා. මේ සඳහා අපි රුපියල් ලක්ෂ 800කට ආසන්න මුදලක් ජනාධිපති ලේකම් කාර්යාලයේ මුදල් වැය කර තිබෙනවා.

    විශේෂයෙන් ම යුධ හමුදාව මේ සඳහා මැදිහත් වී මේ කටයුතු සාර්ථකව නිම කරලා තියෙනවා වාගේම ඉදිරි මාස දෙකක කාලය තුළ ඉතිරි කටයුතු සම්පුරිණ කරන බව මම දන්නවා. ඒ ගැන මම විශේෂ ස්තුතියක් එතුමන්ලාට පිරි නමනවා. ඒ වාගේම මේ කටයුතුවලදී සම්පූර්ණයෙන් සහයෝගය දුන්න අනුරාධපුර දිසාපතිතුමා, ප්‍රාදේශිය ලේකම්තුමිය, සියලු නිලධාරී මහත්ම මහත්මීන්, අපේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පල්ලෙගම මහතා ඇතු`ඵ සියලු කාර්ය මණ්ඩල, ග්‍රාම ශක්ති වැඩසටහන තුළ විශාල වැඩ කොටසක් මේ ගම වෙනුවෙන් කරලා තිබෙනවා.

    අපි ග්‍රාම ශක්ති ව්‍යාපාරය පටන් ගත්තේ මීට අවුරුදු 3කට කලින් මේ රටේ ප්‍රධාන වශයෙන් ම දුගී දුප්පත් ජනතාවගේ, ආර්ථිකය ගොඩන ඟා ගැනීම සඳහා ඒ අයට ශ්‍රම ශක්තියෙන් ගොඩනැගෙන්නයි. ග්‍රාමීය ජනතාව වෙනුවෙන් විශේෂ ව්‍යාපෘතියක් විදිහටයි.

    දැන් මේ ගම දිහා බලන කොට මේ වියදම් කරලා තිබෙන දේවල් සම්පූර්ණයෙන් ම රජයෙන් තමයි කරලා තිබෙන්නේ. රජයෙන් සම්පූර්ණ මුදල් යොදවලා ගෙවල් භාර දී තිබෙනවා. ඒක නිසා දැන් මේ ලබන වර්ෂාවත් එක්ක තමුන්නාන්සේලාගේ ඉදිරි ගොවිතැන් කටයුතු සමග මේ ගමේ සංවර්ධන කටයුතුවලත් බොහෝ අඩුපාඩු සම්පූර්ණ වී තිබෙනවා. රට වශයෙන් මේ ග්‍රාම ශක්ති ව්‍යාපාරය ආරම්භ කරමින් කර ගෙන ගියේ දුගී භාවය තුරන් කිරීම සඳහායි. මේ රටේ තිබෙන ප්‍රධාන ප්‍රශ්න අතරින් මූලික ප්‍රශ්නයක් තමයි දුප්පත්කම කියන්නේ. දුප්පත්කම ඇති වීමට හේතු ඔබ දන්නවා. මූලික වශයෙන් මත්ද්‍රව්‍ය, ඒ වාගේ ම ජීවත් වීමට ඇති ආදායම් මාර්ග නොමැතිකම, ඇතිවෙන ලෙඩ රෝග දුක්ඛිත තත්ත්වයන්, ඒ සමග ම තමන්ට බලපාන නොයෙකුත් දුක්ෂරතා, ගැටලු, ප්‍රශ්න මේවත් එක්ක තමයි තමුන්නාන්සේලාට ගම්වල බොහෝ අඩුපාඩුකම් ඇති වන්නේ. ඒ නිසා දුගීභාවය නැති කිරීමට මූලික වශයෙන් ම ගම්මානයක් විදිහට මේ ගම්වල ජීවත් වන ජනතාව මත්ද්‍රව්‍යවලින් නිදහස් වෙන්න ඕනේ. අරක්කු, කසිප්පු, බීඩි බොන්නේ නැතිව ඉන්න ඕනෑ. නමුත් අතේ සල්ලි නැති වුණත් ඒවාට නම් ඇතැමුන් වියදම් කරනවා. අපේ රටේ දුප්පත්කම ඇතිවෙන්න ප්‍රධානතම හේතුවක් වෙන්නෙත් මත්ද්‍රව්‍යයි. ඒ නිසයි අපි මත්ද්‍රව්‍ය පිළිබඳ පුළුල් ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කළේ. මීට දවස් තුනකට පෙරත් අපේ නිලධාරීන් නීති විරෝධි මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත් අඩංගුවට අරගෙන තිබුණා.

    තමන්ගේ දරුවන් හොඳට හදාගන්න, සෞඛ්‍ය සම්පන්න දරුවන් අනාගතයේ යහපත් පුරවැසියන් බවට පත් වෙන්න මත්ද්‍රව්‍යවලින් නිදහස් ගමක් ගොඩනැඟෙන්නට ඕනෑ. මත්ද්‍රව්‍ය භාවිත කළාම දුගී භාවය වැඩිවෙනවා. ලෙඩ රෝග ඇතිවෙනවා. පවුල් ජීවිත විනාශ වෙනවා. අනෙකුත් ආදායම් මාර්ග අවහිර වෙනවා. සමාජයේ මිනිසුන් පිළිගන්නේ නැතිව ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ අවවාද අනුශාසනා තුළ අපිට හැකිවෙනවා මත්ද්‍රව්‍යවලින් තොර ගමක් බිහිකරන්න. ඒ කාරණාව ඉටු වෙනවා නම් ලෙඩ රෝග අඩුවෙනවා. කාර්යක්ෂමව වැඩ කරන්න නිරෝගීභාවය ලැබෙනවා. දරුවෝ නීරෝගි දරු පිරිසක් බවට පත්වෙනවා.

    දරුවන්ට අධ්‍යාපනය දෙන්නට නම් පාසලක අඩුපාඩු සකස් විය යුතුයි. මම කැකිරාව මධ්‍ය විද්‍යාලයේ රුපියල් කෝටි 5 ක වියදමින් ඉදිකළ ශ්‍රවණාගාරය විවෘත කරලයි මෙතනට ආවේ. මේ සියල්ල දරුවන් සඳහායි. සාමාන්‍යයෙන් අපි කියනවා හොඳ දේ සියල්ල දරුවන් සඳහායි කියලා. හොඳම දේ දරුවන්ටයි කියලා. ඒ හොඳම දේ දරුවන්ට දෙන්න නම් දෙමව්පියෝ ශක්තිමත් වෙන්න ඕනෑ. දෙමව්පියන්ගේ ආර්ථික තත්ත්වය ශක්තිමත් වෙන්න ඕනෑ. එහි දී ඉතාම වැදගත් වෙනවා මත්ද්‍රව්‍යවලින් නිදහස් ජීවිතයක් ගත කිරීම.

    පසුගිය වසර කිහිපය තුළ අපි ජාතික වශයෙන් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කළා. එහි ප්‍රතිඵල අපි ලබලා තිබෙනවා. මේ වනවිට රටේ නීති විරෝධී මත්ද්‍රව්‍යවල මිල බොහෝ ඉහළ ගිහින් තියෙනවා. අපේ නිලධාරීන්, පොලීසිය, ත්‍රිවිධ හමුදාව ඒකාබද්ධව කරන වැටලීම් නිසා මර්දනය වෙලා තියෙනවා. අපේ බලාපොරොත්තුවක් වෙන්නේ තමුන්නාන්සේලාගේ ගෙවල් ටික, පාරවල්, පන්සල, පාසල, වැව, වැසිකිළි හදලා දුන්නා වගේම තමුන්නාන්සේලා ඒ තුළින් යහපත් ජීවිතයක් ගත කිරීමයි. එවිටයි අපිට ඒ සතුට ලැබෙන්නේ. ඒ වෙනුවෙන් වෙහෙස වූ නිලධාරීන්ටත් ග්‍රාමශක්ති ව්‍යාපාරය රට වශයෙන් ගෙනියන වැඩපිළිවෙළේ සාර්ථකත්වය අද රට පුරාම තිබෙනවා. ඒ වැඩපිළිවෙල අනුව තමයි දුෂ්කර පළාත්වල පාසල් දරුවන්ට කිරි වීදුරුවක් දෙන්න පටන් ගත්තේ. දැනට පාසල් 700ක 800ක විතර ඒ වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. අදියරින් අදියර එය දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ.

    වනාන්තරයට ආදරය කරන කෙනෙක් ලෙස අද මේ සුන්දර පරිසරයට පැමිණීමට ලැබීම ගැන මා සතුටු වෙනවා. ස්වාභාවික සම්පත් ආරක්ෂා කරන්න අපි පසුගිය වසර ගණනාව තුළ ජනාධිපති කාර්යාලය ප්‍රමුඛව රටේ විශාල වැඩ කොටසක් කළා. ස්වාභාවික සම්පත් රැකුණේ නැත්නම් මිනිසුන්ට ජීවත්වෙන්න බැහැ. රටක නීරෝගිමත් ජනතාවක් බිහිවෙන්න නම් ස්වාභාවික සම්පත් ආරක්ෂා වෙන්න ඕනෑ. එවිට තමයි රටක් වාසනාවන්ත වෙන්නේ. තමුන්නාන්සේලාට මොනවයින් අඩු වුණත් තිබෙන ලොකුම සම්පත තමයි මේ වනාන්තරය. මේවා ආරක්ෂා කිරීම ඉතා වැදගත් වෙනවා.

    අද මේ ඔබට ලැබුණු සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගෙන යහපත් ජීවිත ගත කරන්න ඔබට ශක්තිය ලැබේවා” යැයි ජනාධිපති තුමා ජනතාව අමතමින් අදහස් පළ කළේය.

    Last modified on බදාදා, 09 ඔක්තෝබර් 2019 20:18

    Latest News