පූජිත හා හේමසිරි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ (වීඩියෝ)

ඔක් 09, 2019

    හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන අය ලබන 23 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියම කර තිබේ.

    ඇප නියෝගය අවලංගු කරමින් කොළඹ මහාධිකරණය විසින් තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන සැකකරුවන් දෙදෙනා බන්ධනාගාර භාරයට පත් කරන ලදී. 
    පසුව බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කරන ලදී. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මහාධිකරණයේ නියෝගය පරිදි මෙම සැකකරුවන් දෙදෙනා ලබන 23 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට ප්‍රධාන මහේස්ත්‍රාත් වරිය නියෝග කළාය.

     

    හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර ඇපමත මුදා හරිමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී තිබූ නියෝගයක් අද(08) කොළඹ මහාධිකරණය විසින් ඉවත් කරනු ලැබීය.

    බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැර මිනීමැරීම සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් දුන් ඇප නියෝගයක් ලබා දී තිබිණි. එය නීතියට පටහැනි බව තීන්දු කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා එම ඇප නියෝගය අද නිෂ්ප්‍රභ කරන බව නියෝග කළේය.

    ඒ අනුව සැකකාර හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන අය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ද මහාධිකරණ විනිසුරු කළුආරච්චි මහතා විසින් නිකුත් කළ නියෝගයේ සඳහන් විය.

    අදාළ සැකකරුවන් දෙදෙනා ඇප මත මුදා හරිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය දුන් නියෝගය දෝෂ සහිත බව සඳහන් කරමින් නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක තීන්දුව දෙමින් මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කළේය.

    තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා සඳහන් කර සිටියේ පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර මාලාව සිදුකළ ජාතික තව්හිද් ජමාත් සංවිධානය සහ සහරාන් හෂීම් ඇතුළු ඔහුගේ අනුගාමිකයින් පිළිබඳව රාජ්‍ය බුද්ධි සේවය විසින් වාර්තා 347 මෙම සැකකරුවන් දෙදෙනා වෙත යොමු කර තිබූ බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සිය දේශනයෙන් සඳහන් කර තිබූ බව කියා සිටියේය.

    ඉන් වාර්තා 131 ක් සැකකාර පොලිස්පතිවරයා වෙතත් තවත් වාර්තා 97 ක් සැකකාර හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙතත් යොමු කර තිබූ බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සිය දේශනයෙන් වැඩිදුරටත් සඳහන් කළ බවයි විනිසුරුවරයා සිය තීන්දුවෙන් සඳහන් කර සිටියේ.

    දණ්ඩ නීති සංග්‍රහයේ 296 වන වගන්තිය යටතේ මෙම සැකකරුවන් දෙදෙනාම නීතිපතිවරයාගේ උපදෙස් මත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබූ බව පෙන්වා දුන් මහාධිකරණ විනිසුරු කළුආරච්චි මහතා 296 වන වගන්තිය යටතේ චෝදනා ඉදිරිපත් වන අවස්ථාවක මහේස්ත්‍රාත්වරයෙකුට පැවරෙන බලතල පිළිබඳව ද විස්තර කර සිටියේය.

    එහිදී මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කර සිටියේ මිනීමැරීම නැමති චෝදනාව යටතේ සැකකරුවකු ඉදිරිපත් කළ අවස්ථාවක ප්‍රමාණවත් සාක්ෂි නොමැති නම් මුල් අවස්ථාවේදීම සැකකරුවකු නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයෙකුට බලය තිබෙන බවයි.

    ඊළඟට මිනීමැරුම් චෝදනාවක් සම්බන්ධයෙන් ලඝු නොවන නඩු විභාගයක් පවත්වා එහිදී සාක්ෂි නොමැති බවට කරුණු අනාවරණය වන අවස්ථාවක එහි සැකකරු නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයාට බලය පැවරෙන අතර එම ලඝු නොවන නඩු විභාගයේ දී යම් සැකකරුවෙකුට එරෙහිව සාක්ෂි තිබෙන බවට කරුණු අනාවරණය වන්නේ නම් එම නඩු කටයුත්ත මහාධිකරණය හමුවේ තැබීමටද මහේස්ත්‍රාත්වරයෙකුට බලය තිබෙන බවයි විනිසුරුවරයා සදහන් කර සිටියේ.

    එහෙත් මෙම සිද්ධියේදී නීතිපතිවරයාගේ උපදෙස් මත පොලීසිය විසින් මෙම සැකකරුවන් දෙදෙනා දණ්ඩ
    නීති සංග්‍රහයේ 296 වන වගන්තිය යටතේ මිනීමැරීමේ චෝදනා යටතේ සැකපිට අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවක ඔවුන්ට එරෙහිව එම චෝදනාව පවත්වාගෙන යාමට ප්‍රමාණවත් කරුණු නොමැති බව සඳහන් කරමින් මහේස්ත්‍රාත්වරිය විසින් ඔවුන් ඇප මත මුදා හරිමින් දී ඇති නියෝගය නීතියට පටහැනි බව මහාධිකරණ විනිසුරුවරයා සදහන් කර සිටියේය.

    එම චෝදනා පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති නිසා සැකකරුවන් ඇප මත මුදා හරින බව ද මහේස්ත්‍රාත්වරිය සිය තීන්දුවෙන් සඳහන් කර ඇතැයි පෙන්වා දුන් මහාධිකරණ විනිසුරු කලුආරච්චි මහතා දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ චෝදනා එල්ල වන සැකකරුවකුට ඇප ලබා දීමට බලය පැවරී තිබෙන්නේ මහාධිකරණයට පමණක් බවත් මහේස්ත්‍රාත්වරයෙකුට එවැනි බලයක් නොමැති බවත් ප්‍රකාශ කළේය.

    මෙම සැකකරුවන්ට ඇප ලබා දීමේදී මහේස්ත්‍රාත්වරිය නැති නීතිමය බලයක් නිර්මාණය කර ගනිමින් නීතිය ද අභිබවා ගොස් එම නියෝගය සිදුකර ඇති බවත් එය විනිසුරුවරයකු විසින් නොකළ යුතු නියෝගයක් බවත් මහාධිකරණ විනිසුරුවරයා සිය තීන්දුවෙන් පෙන්වා දුන්නේය.

    මහෙස්ත්‍රාත්වරියගේ මෙම ඇප නියෝගය බරපතළ නීතිමය දෝෂයන්ගෙන් සමන්විත බවත් ඒ හරහා නීතිය බරපතල ලෙස අපගමනය වීමක් සිදුවන හෙයින් එම නියෝගය ප්‍රතිශෝධනය කර ඇප නියෝගය ඉවත් කිරීමට තමන් තීන්දු කළ බව මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කර සිටියේය.

    වැඩි දුරටත් තීන්දු ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කර සිටියේ මෙම නඩු තීන්දුව තුලින් පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා තවත් රජයේ නිලධාරීන් දෙදෙනෙකු වශයෙන් පමණක් ලෙස හඳුන්වා දීමට මහේස්ත්‍රාත්වරිය සිය ඇප නියෝගය තුළින් කටයුතු කර ඇති බවයි.

    එය පිළිගත නොහැකි කරුණක් බව පෙන්වාදුන් මහාධිකරණ විනිසුරු කළුආරච්චි මහතා ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා යනු ආරක්ෂක අංශයන්ට අණදෙන ඉහළ පෙළේ නිලධාරින් දෙදෙනෙකු බව සඳහන් කර සිටි අතර ඔවුන් වෙත ආරක්ෂාව පිළිබඳව භාරදූර වගකීමක් පැවරී තිබෙන බවද සඳහන් කළේය.

    එවැනි වාතාවරණයක් මත පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා තවත් රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකු වශයෙන් හඳුන්වා දීම තුළින් මහේස්ත්‍රාත්වරිය ඔවුන්ගේ රාජකාරිය සැහැල්ලුවට ලක් කර ඇති බවද මහාධිකරණ විනිසුරුවරයා සිය තීන්දුවෙන් චෝදනා කර සිටියේය.

    මෙම ඇප නියෝගය තුළින් මහේස්ත්‍රාත්වරිය බුද්ධි තොරතුරු සන්නිවේදනය කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් තිබිය යුතු බවත් "වට්ස්ඇප්" වැනි නිවාඩු අවස්ථාවක අන්තර්ජාලයට පිවිසෙන මාධ්‍යයක් හරහා සංවේදී බුද්ධි තොරතුරු යොමු කිරීම නුසුදුසු බව සිය ඇප නියෝගයේ ප්‍රකාශ කර තිබෙන බව සිහිපත් කළ මහාධිකරණ විනිසුරු කලුආරච්චි මහතා ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා විසින් "වට්ස්ඇප්" මාර්ගයෙන් අප්‍රේල් මස 20 වනදා සහ 21 වනදා පෙරවරුවේ පොලිස්පති සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙත යොමුකර ලද පණිවිඩ ඔවුන් විසින් කියවා ඇති බව නඩු විභාගයේදී අනාවරණය වූ බව කියා සිටියේය.

    එල්ල වීමට නියමිත බිහිසුණු ප්‍රහාරයක් පිළිබඳව තොරතුරු ලැබුණු විගස පොලිස්පතිවරයා විසින් සිදුකිරීමට නියමිතව තිබුණේ වහාම පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනුවත් කර රට පුරා ප්‍රබල ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම බව පෙන්වා දුන් මහාධිකරණ විනිසුරුවරයා එහෙත් එවැන්නක් පොලිස්පතිවරයා විසින් සිදුකර නැති බව පෙනී යන බවද කියා සිටියේය.

    ඒ වෙනුවට ඔහු විසින් සිදුකර තිබෙන්නේ සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස දන්වමින් ප්‍රහාරය පිළිබඳව බුද්ධි තොරතුරු ඇතුළත් ලිපිය තමන් යටතේ සිටින ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු හතර දෙනෙකු වෙත යොමුකිරිම පමණක් බව විනිසුරුවරයා සඳහන් කළේය.

    ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බව තොරතුරු ලැබී තිබියදී සිංහල අවුරුදු සමයේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු තුන්දෙනෙකුට නිවාඩු ලබාදීමට සැකකාර පොලිස්පතිවරයා කටයුතු කිරීමද මෙහිදී විනිසුරුවරයා තීන්දුව මගින් සිහිපත් කර සිටියේය.

    සැකකාර හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් ද මෙම ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා සාධණීය ක්‍රියාමාර්ග ගෙන නොමැති බව පෙනී යන්නේ යැයි ද විනිසුරුවරයා සඳහන් කළේය.

    ඒ අනුව ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ඒ අනුව එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් මෙම සැකකරුවන් දෙදෙනා රාජකාරිය සාපරාධි ලෙස පැහැර හැර තිබෙන බවට සහ ඒ තුලින් ඔවුන් මිනී මැරීම නමැති වරද සිදු කර ඇති බවට නීතිපතිවරයා විසින් එළැඹ තිබෙන නිගමනය නීත්‍යනුකූල සහ යුක්ති සහගත නිගමනයක් බව මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා සිය තීන්දුව මගින් විවෘත අධිකරණයේ ප්‍රකාශ කර සිටියේය.

    මෙවැනි තත්ත්වයක් යටතේ අඩක් පමණක් අවසන් වූ පරීක්ෂණයක ඉදිරිපත් වූ වාර්තා කීපයක් සහ ලේඛන කිහිපයක් පදනම් කරගෙන මිනීමැරීමේ චෝදනා පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව සඳහන් කරමින් සැකකරුවන් දෙදෙනා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා තීරණය මුළුමනින්ම නීතියට පටහැනි බව පෙන්වා දුන් මහාධිකරණ විනිසුරුවරයා මෙවැනි නියෝගයක් ප්‍රකාශ කිරීමට මහාධිකරණ විනිසුරුවරයෙකුට පවා හැකියාවක් නොමැති බවයි සඳහන් කළේය.

    මෙම සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට පෙර ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම ගැටළු සහගත බව මහේස්ත්‍රාත්වරිය විසින් සිය ඇප නියෝගයේ සඳහන් කර තිබුනද සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පෙර ප්‍රකාශ සටහන් කළ යුතු බවට කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් නොමැති බවද මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කර සිටියේය.

    ඒ අනුව මහෙස්ත්‍රාත්වරිය විසින් ඉකුත් ජුලි මස 09 වනදා සිදුකළ මෙම ප්‍රශ්නගත ඇප නියෝගය බරපතළ දෝෂයන්ගෙන් සමන්විත නියෝගයක් බැවින් එය නිෂ්ප්‍රභ කරන බව විනිසුරු විකුම් කළුආරච්චි මහතා සඳහන් කළේය.

    ඒ අනුව හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පියවර ගන්නා ලෙස මහධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා සිය තීන්දුවෙන් ප්‍රකාශ කර සිටියේය.

    Last modified on බදාදා, 09 ඔක්තෝබර් 2019 20:20

    Latest News