ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සහය ගෝඨාභයට..පා.ම නිමල් සිරිපාල ද සිල්වා (වීඩියෝ)

ඔක් 09, 2019

    කොන්දේසි සහිතව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරයට සහය පළකිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

    ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නමින් නව සංවිධානයක් සඳහා වූ අවබෝධතා ගිවිසුම් 2කට අත්සන් කිරීමට නියමිත බව විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.

    දැනට රට තුල ක්‍රියාත්මක ප්‍රජාතන්ත්‍රවාදී රාමුව හා ජාතික සමගිය සම්බන්ධයෙන් මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැඩිව ක්‍රියාත්මක වී සිටින බව ඔහු කියා සිටියේය. එමෙන්ම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සියළුම දිස්ත්‍රික් හා ආසන සංවිධායකයින් හා පාක්ෂිකයින් ආරක්ෂා කරගැනීම ද අවධානය යොමුකර ඇති බව ඔහු පෙන්වා දුනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාවය ආරක්ෂා කිරීම ද ප්‍රමුඛතම අරමුණක් බව නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කළේය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළකිරීමේ දී අත්සන් කරනු ලබන අවබෝධතා ගිවිසුම් ඉදිරි දින දෙක තුල දී අත්සන් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා මෙම ප්‍රවෘත්ති සාකච්ජාවේ දී කියා සිටියේය. එක් ගිවිසුමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අත්සන් කිරීමට නියමිතයි. අනෙක් ගිවිසුම ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් අත්සන් කරන බව දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය. ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අත්සන් තබන අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයක් කැඳවා ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් ඉදිරියේ පොරොන්දුවක් ලෙස ලබාගැනීමට ද නියමිත බව විශේෂ මාධ්‍ය හමුවේ දී ඔහු ප්‍රකාශ කළේය.

    මෙම ජනාධිපතිවරණ කාලසීම තුල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලන කටයුතුවලට දායකනොවී මධ්‍යස්ථව සිටීමට තීරණය කර කර තිබේ. ඒ අනූව, නොවැම්බර් මස 18වැනි දා දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කටයුතු ආවරණය කිරිම සඳහා මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා නම්කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්වරයා පැවසීය. ජනාධිපතිතුමා ආරක්ෂක හමුදාවන්ට හා පොලීසිය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කරන බැවින් දේශපාලන කටයුතුවලට සම්බන්ධ නොවී සිටීමට තීරණය කර ඇති බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    Last modified on බදාදා, 09 ඔක්තෝබර් 2019 20:07

    Latest News