නිව්වෙලිගම මාර්ගයේ කොටසක් ගිලා බසී

ඔක් 15, 2018

    නොර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේ කාසල්රි ජලාශයට ඉහළින් වු හැටන් බගවන්තලාව, හැටන් මස්කෙලිය සහ හැටන් බලංගොඩ ප්‍රධාන මාර්ගය අද (15) අලුයම වන විට අඩි 10 පමණ පොළව තුළට ගිලා බැස ඇති අතර ඒ අසළ පිහිටි නිවාස පහක් කාසල්රි ජලාශයට කඩා වැටෙමින් තිබේ.

    මීට දින කිහිපයකට ප්‍රථම එම ප්‍රදේශය නායයාමට සක්‍රිය වීමත් සමඟම ජාතික ගොඩනැලි ආයතනයේ නිර්දේශයක් මත එහි පදිංචි පවුල් පහකට අයත් සමාජිකයන් 23 දෙනෙකු පදිංචි නිවාසවලින් ස්ථිරවම ඉවත් කළේය.

    එම ප්‍රදේශය නායාමට සක්‍රිය විමත් සමඟ එම ස්ථානයේ රථ වාහන ගමනාගමනය සම්පුර්ණයෙන්ම නතර කිරීමටත් මාර්ගයේ ගමන් ගන්නා වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කිරීමටත් නොර්වුඩ් පොලිසිය පියවරගෙන තිබුණි.

    නායයාම ආරම්භ වූ ස්ථානය මගහැර ඊට ඉහළින් වූ තේ වත්ත මැදින් පාගමනින් මගීන්ව යෙදවීමට පොලිසිය කටයුතු කර තිබුණි.

    ප්‍රධාන මාර්ගය ගිලා බැසීමත් සමඟ නොර්වුඩ්, බගවන්තලාව, මස්කෙලිය, නල්ලතන්නිය යන ප්‍රදේශවල ජනතාවගේ ජන ජීවිතයට ගැටළු රැසක් මතු ව ඇත.

    නායයාම සක්‍රිය වී ඇති ස්ථානය නිරීක්ෂණ කිරීම සඳහා ඊයේ (14) එම ස්ථානයට පැමිණි කඳුරට නව ගම්මාන හා ප්‍රජා සංවර්ධන අමාත්‍යය පලනි දිගම්බරම් මහතා අවතැන් වූ පවුල් 5 සඳහා රජය මගින් නොර්වුඩ් ප්‍රදේශයේම සුදුසු ඉඩමක නිවාස ඉදි කරදීමට කටයුතු කරන බව පැවසීය.

    නාය යාමෙන් අවතැන් වුවන් ඔවුන්ගේ ඥාති නිවෙස්වල තාවකාලිකව නතර කර ඇත.

    Last modified on සදුදා, 15 ඔක්තෝබර් 2018 15:14

    Latest News