ඒජාපය සොලවන්න බැහැ: දුර්දාන්ත පාලනය පැන්නු සජිත්ගේ ජයග්‍රාහනය ස්ථිරයි

ඔක් 07, 2019

    මෙවර ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරිමෙන් පසු එක්සත් ජාතික පක්ෂය තවත් වසර 25කට වෙනස් කළ නොහැකි බව විදුලි බල ඇමති රවී කරුණානායක පවසයි.

    පැවති දුර්දාන්ත පාලනය ඉවත් කර, බියෙන් සැකෙන් තොරව ජීවත්වීමේ අයිතිය ජනතාවට ලබාදෙන්න අපට හැකිවු බවත් ඔහු කියා සිටියේය.

    කොළඹ දිස්ත්‍රික් බලමණ්ඩල රැස්වීම අමතමින් එක්සත් ජාතික පක්ෂ උපනායක රවී කරුණානායක මහතා මේ බව පැවසීය.

    අපි මේ බලය ලබාගන්නේ අපේ අහිංසක මහජනතාවට සේවය කරන්නයි. 2015 ජයග්‍රහණය ලබාගත්තෙත්, ජනතා සිතුම්පැතුම් ඉටු කරන්නයි. එදා පැවති දුර්දාන්ත පාලනය ඉවත් කරලා, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න අපට හැකිවුණා. ඒ තුළින් බියෙන් සැකෙන් තොරව ජීවත්වීමේ අයිතිය ජනතාවට ලබාදෙන්න අපට හැකිවුණා. රටේම ජනතාව එය පිළිගන්නවා. ඒ නිසයි අපි මෙවර එක්සත් ජාතික පක්ෂයෙන්ම ජනාධිපතිවරයෙක් පත්කරගෙන, වසර ගණනාවක් තිස්සේ පාක්ෂිකයන්ට සිදුවන අසාධාරණකම් වලට සාධාරණ විසදුම් ලබාදෙන්න අපි තීරණය කළේ. මෙවර ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පස්සේ, එක්සත් ජාතික පක්ෂය තවත් වසර 25 කට සොලවන්න බැරි වේවි යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ උපනායක රවී කරුණානායක මහතා අවධාරණය කළේය.

    සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් බලමණ්ඩලය රැස්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ද සහභාගි වූහ.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා.......

    අපට දිනන්න ඕන ලක්ෂ 70 කට වඩා ඡන්ද ලබාගෙන, එක්සත් ජාතික පක්ෂ අපේම ජනාධිපතිවරයෙක් පත්කල යුතුයි. මේ මාසේ 10 දා පවත්වන අපේ ප්‍රථම රැළියත් සමගින් අපි අපේ ජයග්‍රහණය තහවුරු කිරීමේ ගමන ආරම්භ කරනවා. කොළඹ දිස්ත්‍රික්කය සෑම විටම ඡන්දයකට සූදානම් පමණක් නොවෙයි, සෑම ඡන්දයක්ම ජයග්‍රහණය කරන්නත් සුදානම්.

    අපිට පළිගැනීම් දේශපාලනයක් නැහැ. මුළින්ම අපි ජාතික ආරක්ෂාව ගැන සිතිය යුතුයි. ඒ වගේම ආර්ථිකය මෙන්ම සංවර්ධනය ගැනත් සැලකිලිමත් විය යුතුයි. රටේ එකීයභාවය රැකගෙන, පුළුල් බලය විමධ්‍යගත කිරීමක් සිදුකළ යුතුයි. ඒ වගේම සාර්ථක මෙන්ම කාර්යක්ෂම රාජ්‍ය සේවයක් බිහිකළ යුතුයි. එය වැඩකළ හැකි පිරිසකගෙන් සමන්විත විය යුතුයි. අපිට සම්පූර්ණ ආණ්ඩුවක් තිබුණේ නැහැ. මාස 15 ක් තුළ ප්‍රජාතන්ත්‍රවාදී ගැටළු තිබුණා. ආණ්ඩුව කඩා වැටුණා. මේ නිසා අපට ජනතාවට සහන සලසන්න නොහැකි වුනා. මෙන්න මේ නිසයි අපි ඉල්ලන්නේ අපි කොළඹ දිස්ත්‍රික්කයෙන් අපි අපේ බලය පෙන්වමු කියලා යැයි පැවසීය.

    Latest News