ගෝඨාභයට නාමයෝජනා භාරදීමට අධිකරණයෙන් විදේශ ගමන් බලපත්‍රය ලබාදේ

ඔක් 03, 2019

    ගෝඨාභය රාජපක්ෂ මහතාට වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටීම සඳහා මේ මස 9 වන දා සිට 12 වනදා දක්වා විදේශ ගත වීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අවසර ලබා දුන්නේය.

    හම්බන්තොට මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමට රාජ්‍ය මුදල් සාවද්‍ය පරිහරණ නඩුව අද සම්පත් අභයකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

    ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා තරග කිරීමට තීරණය කර ඇති බැවින් නාම යෝජනා පත්‍ර භාර දීමේදී අනන්‍යතාවය තහවුරු කිරීමට දැනට අධිකරණය භාරයේ පවතින විදේශ ගමන් බලපත්‍රය මුදාහරින ලෙස පසුගියදා නඩුව කැඳවූ අවස්ථාවේදී ජනාධිපති නිතිඥ අලි සබ්රි මහතා ඉල්ලා තිබුණි.

    සිංගප්පූරුවේදී හදවත් සැත්කමක් සිදුකර ඇති බැවින් ඊට අදාළ පරීක්ෂණයක් සඳහා ඔක්තෝබර 9 සිට 12 වනදා දක්වා විදේශ ගතවීමට අවශ්‍යව ඇති බවත් එදින කියා සිටියේය. ඒ සඳහා දැනට අධිකරණය භාරයේ පවතින ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය මුදා හරින ලෙසත් පණවා තිබෙන විදෙස්ගමන් තහනම අදාළ කාලසීමාව තුළ ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබුණ.

    ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීම සම්බන්ධයෙන් විරුද්ධ නොවන බව නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා එහිදි කියා සිටියේය.

    ඒ අනුව විත්තිකරුට අදාල කාල සීමාව සඳහා විදේශගත වීමට පනවා තිබූ තහනම ලිහිල් කිරීමට නියම කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඒ බව ආගමන හා විගමන පාලකවරයාට දැනුම් දෙන ලෙසද නියෝග කළේය. එමෙන්ම අධිකරණය භාරයේ පවතින ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය මුදා හරින ලෙසත් දිවයිනට පැමිණි පසුව එය අධිකරණය වෙත භාරදිය යුතු බවටත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ගෝඨාභය රාජපක්ෂ මහතාට නියම කෙරිණ.

    Latest News