පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය

සැප් 25, 2019

    හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, පොලිස්පති පූජිත් ජයසුන්දර සහ අමාත්‍ය මණ්ඩලය ඇතුළු පාර්ශව කීපයකට එරෙහිව ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් අද(25) යළි ශ්‍රේෂ්ඨාධිකරණ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.

    ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් මූලික අයිතීන් කඩ කළ බවට චෝදනා කර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, පොලිස්පති පූජිත් ජයසුන්දර සහ අමාත්‍ය මණ්ඩලය ඇතුළු පාර්ශව කීපයකට එරෙහිව විවිධ පාර්ශව විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ගොනු කර තිබේ.

    මෙම පෙත්සම් සලකා බැලීම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, එල්. ටී. බී .දෙහිදෙණිය සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සිදුවිය.

    පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදී නීතිපති දප්පුල ද ලිවේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම්වල වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් ජුලි මස17 දා ඉදිරිපත් කළ දිවුරුම් පෙත්සම ඉවත් කරගෙන ඒ වෙනුවට සීමිත විරෝධතා ඇතුළත් නව
    දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත් නඩු දිනයේ ඔහු වෙත නියෝග කළ බව සඳහන් කර ඇත.

    එහෙත් පොලිස්පති පූජිත් ජයසුන්දර දැන් අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති දෙවන දිවුරුම් පෙත්සම තුළින්ද නීතිපතිවරයාට සහ එම දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට අභූත, පදනම් විරහිත සහ අසත්‍ය චෝදනා රැසක් එල්ල කර ඇති බව සඳහන් කළ නීතිපති ලිවේරා මහතා එම කරුණු පදනම් විරහිත බව ද සඳහන් කර තිබේ.

    පොලිස්පතිවරයාගේ එම දිවුරුම් පෙත්සම මගින් නීතිපතිවරයාට පෞද්ගලිකව සහ රාජකාරිමය වශයෙන් අභූත චෝදනා රාශියක් එල්ල කර තිබෙන බවත් එම දිවුරුම් පෙත්සම හරහා නව තොරතුරු ගණනාවක් අධිකරණය හමුවට රැගෙන ඒමට පොලිස්පතිවරයා කටයුතු කර ඇති බවද නීතිපති ලිවේරා මහතා අධිකරණය හමුවේ පෙන්වා දී ඇත.

    එබැවින් පොලිස්පතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන සංශෝධිත දෙවන දිවුරුම් පෙත්සමද ඉකුත් නඩු දිනයේ අධිකරණය විසින් දුන් නියෝගයට පටහැනි බැවින් එය ප්‍රතික්ෂේප කරන ලෙසයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා අධිකරණය හමුවේ ඉල්ලා සිටියේ.

    මෙහිදී පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විරාන් කොරයා මහතා කරුණු දක්වමින් තම සේවාදායකයා කිසිදු අවස්ථාවක පෞද්ගලික මට්ටමින් කිසිදු පාර්ශවයකට එරෙහිව අසත්‍ය චෝදනා එල්ල කර නොමැති බවත් සඳහන් කර තිබේ.

    පාස්කු ඉරුදින සිද්ධියේදී තමන්ට මුහුණ දීමට සිදුවූ කරුණු ඔහු විසින් මෙම දිවුරුම් පෙත්සම මගින් සඳහන් කර ඇති බව කියා සිටි නීතිඥ කොරයා මහතා මෑතකදී නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ බවත් එහි තම සේවාදායකයාට එල්ල කර තිබූ චෝදනා පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා ඔහු විසින් මෙම පෙත්සම හරහා අලුතින් කරුණු ඉදිරිපත් කිරීමට සිදු වී ඇති බව ද අධිකරණය හමුවේ පෙන්වා දී ඇත.

    මෙම අවස්ථාවේදී නැගී සිටි නීතිපති දප්පුල ද ලිවේරා මහතා වග උත්තරකරු ඉදිරිපත් කරන කරුණු පදනම් විරහිත බව සඳහන් කර තිබේ.

    එම අවස්ථාවේ දී නීතිපතිවරයා ඇමතු බුවනෙක අලුවිහාරේ සහ ප්‍රියන්ත ජයවර්ධන යන විනිසුරුවරවරු වග උත්තරකරුවන්ගේ කරුණු දැක්වීම්වලට බාධා නොකරන ලෙස අවධාරණය කර ඇත. විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා නීතිපතිවරයා වෙත පෙන්වා දුන්නේ සෑම පාර්ශවකරුවෙකුටම සමාන ලෙස කරුණු දැක්වීමට අවස්ථාව තිබිය යුතු බවයි.

    මෙම ඉල්ලීම පිළිබඳව දීර්ඝ ලෙස කරුණු සලකා බැලූ අගවිනිසුරුවරයා ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පොලිස්පතිවරයා විසින් ඉකුත් 23 වනදා ඉදිරිපත් කර තිබෙන දෙවන දිවුරුම් පෙත්සමෙහි මෙම නඩුවට අදාළ වන කරුණු පමණක් අධිකරණයේ සැලකිල්ලට භාජනය කිරීමට තීන්දු කර ඇත.

    ඉන් අනතුරුව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විරාන් කොරයා මහතා කරුණු දක්වමින් පොලිස් දෙපාර්තමේන්තුව හා රාජ්‍ය බුද්ධි සේවය එකිනෙකට වෙනස් වෙන් වෙන්ව කටයුතු කරන ආයතන දෙකක් බව පෙන්වා දී තිබේ.

    රාජ්‍ය බුද්ධි සේවයට ලැබෙන බුද්ධි තොරතුරු එහි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා විසින් ඍජුවම ජනාධිපතිවරයා වෙත දැනුම් දීමක් සිදු කරන බව පෙන්වා දුන් නීතිඥ කොරයා මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා සතු තොරතුරු පොලිස්පතිවරයාට ලබාදී පසුව පොලිස්පතිවරයා විසින් එම තොරතුරු ජනාධිපතිවරයා වෙත ලබාදීමේ ක්‍රියාදාමයක් අනුගමනය නොවූ බව ද ප්‍රකාශ කර ඇත.

    පාස්කු ඉරුදින එල්ලවීමට නියමිතව තිබූ ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ තොරතුරු තමන් වෙත ලැබුණු විගස තම සේවාදායකයා ඒ පිළිබඳව තමන් යටතේ සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු හතර දෙනෙකු වෙත අවශ්‍ය පියවර ගැනීම සඳහා යොමුකළ බවද නීතිඥ විරාන් කොරයා ප්‍රකාශ කර තිබේ.

    මෙහිදී විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා ප්‍රශ්නයක් යොමු කරමින් කිතුනු දේවස්ථානවලට පහර දෙන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී එවැනි දේවස්ථාන වලට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දීමට හැකියාවක් තිබුණා නොවේදැයි පොලිස්පති පූජිත් ජයසුන්දර වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ගෙන් විමසා ඇත.

    ඊට ප්‍රතිචාර දක්වමින් නීතිඥ විරාන් කොරයා සඳහන් කර සිටියේ එවැනි පහරදීමක් සිදු වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබුණ ද ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව රාජ්‍ය බුද්ධි සේවය විසින් ප්‍රකාශ කර තිබූ බවයි. ලැබුණු බුද්ධි තොරතුර තුළ නිශ්චිත භාවයක් නොතිබූ හෙයින් එවැනි පියවරක් නොගැනුණු බව ද නීතිඥවරයා ප්‍රකාශ කර තිබේ.

    වැඩිදුර විමසීම හෙට දිනට කල් තැබිණි.

    Latest News