දඹුල්ල අර්ථික මධ්‍යස්ථානයට එළවළු ගෙනා අයෙකු ඝාතනය කරයි

සැප් 21, 2019

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පිහිටි තාප්පයක් ආසන්නයේ තුවාල සහිත පුද්ගලයෙකුගේ මළ සිරුරක් පවතින බවට පොලීසියට ලද තොරතුරක් අනුව පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

    පසුව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස්. පී. එදිරිසිංහ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් අලුයම කාලයේ සිටම මෙම ඝාතනය වූ පුද්ගලයා සහ සිද්ධිය පිළිබඳව දැඩි විමර්ශනයක් ආරම්භක කළ බව පොලිසිය කියයි.

    වෙළඳසැල්වල පිහිටි ආරක්ෂිත කැමරා පද්ධති පරික්ෂාවේ දි කැමරා පද්ධති කිහිපයකම මියගොස් සිටින පුද්ගලයා ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සැල් කීපයකට ඇවිදිමින් වෙළඳසැලක් සොයා යන ආකාරය නිරික්ෂණයවි ඇත. ඒ සමගම ඔහු පිටුපස තවත් තරුණයන් දෙදෙනකු ඉතා සූක්ෂම ලෙස ඔහුට නොදැනෙන්න ලුහුබඳින බව ද ආරක්ෂිත කැමරා වලින් සොයාගැනීමට හැකිවූ බව දඹුල්ල පොලීසිය අනාවරණය කර ගෙන තිබේ.

    පසුව තවත් පුද්ගලයෙක් එක වැරම මියගොස් සිටින පුද්ගලයාගේ මුදල් පසුම්බියක් හෝ එවැනි දෙයක් රැගෙන දිව යන දර්ශනයක් එම තරුණයන් පිටුපස මිය ගිය පුද්ගලයාද දිවයන දර්ශන පොලීසිය සොයාගෙන තිබේ.

    ඒ අනුව දිගින් දිගටම සිදුකරන ලද පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ මෙසේ මියගොස් තිබෙන පුද්ගලයා ඩී. එම්. උක්කුබණ්ඩා රත්නායක පතන රාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් ඔහු අලුයම 1.00 ට පමණ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ ලොරි රථයකින් කැරට් රැගෙනවිත් තිබෙන බවයි. ආර්ථික මධ්‍යස්ථානය පිටත කැරට් ලොරි රථය නවතා ඔහු එළවළු ලබාදෙන වෙළඳසැල සොයා ආර්ථික මධ්‍යස්ථානය තුළට පැමිණෙන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

    ලොරි රථය සොයා ගැනීමෙන් පසුව එහි පැමිණි රිය සහායකයා ගෙන් පොලීසිය කරුණු විමසීමේ දී හෙළි වී ඇත්තේ වෙන දිනවලත් ප්‍රධාන මාර්ගයේ වාහනය නවතා වෙළඳසැලට ගොස් නිදා ගන්නා බවයි. එසේම අළුයම ආර්ථික මධ්‍යස්ථානයේ ගේට්ටු විවෘත කිරීමෙන් පසු එලවළු ලොරිය ඇතුළත් කරන බවත් එහෙත් උදේ තම රියදුරු මහතා නොපැමිණි නිසා වෙනත් අයෙකුගේ සහාය ඇතිව කැරට් සහිත ලොරිය වෙළඳසැල දැමූ බව ඔහු පොලිසියට ප්‍රකාශ කොට තිබේ.

    කෙසේ වෙතත් මෙම පුද්ගලයාගේ මුදල් පසුම්බිය රැගෙන පලා යන පුද්ගලයා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැලක සේවය කරන අයෙකු බවත් අනෙක් පුද්ගලයා පිළිබඳව තොරතුරු රැසක් අනාවරණය වී ඇතැයි දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්. පී. එදිරිසිංහ මහතා සඳහන් කළේය. මෙම ඝාතනය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වනු ලබයි.

     

    Latest News