අතුරුදන්වූවන්ගේ පවුල්වලට නොවැ. සිට රු. 6,000ක දීමනාවක්

සැප් 20, 2019

    අතුරුදන් වූවන්ගේ පවුල්වලට නොවැම්බර් මාසයේ සිට මාසික අතුරු දීමනා ලෙස රුපියල් 6,000 බැගින් ගෙවීමට රජය තීරණය කර තිබේ.

    මුදල් අමාත්‍යංශය පවසන්නේ, ත්‍රිවිධ හමුදා සහ පොලිස් සේවයේ යෙදී සිටියදී එලෙස අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින්ට ද මෙම දීමනාව ලබාගැනීමට හැකි වන බවයි. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා 2019 අය-වැය මගින් යෝජනා කළ පරිදි අතුරුදන් වූවන්ගේ පවුල්වලට මාසික අතුරු දීමනාවක් ලෙස රුපියල් 6,000 බැගින් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ. ඉකුත් වසරේ අගෝස්තු මස අතුරුදන් වූවන්ගේ කාර්යාලය විසින් ප්‍රකාශයට පත් කරන ලද අතුරු වාර්තාවේ නිර්දේශ කර ඇත්තේ, තම පවුලේ සාමාජිකයෙකු අතුරුදන් වූ බවට ප්‍රවාස සහතිකයක් ඉදිරිපත් කරන පවුල්වලට මෙම අතුරු සහනය ගෙවීම සුදුසු බවයි. 2019 අය-වැය වාර්තාවේ එකී නිර්දේශය ඇතුළත් කර තිබේ.

    මේ අනුව, ප්‍රවාස සහතිකය ලබන්නාගේ නමට ඇති බැංකු ගිණුමට රුපියල් 6,000ක අතුරු සහන දීමනාව තැන්පත් කෙරේ. මුදල් අමාත්‍යංශය පවසන්නේ මෑතක පිහිටුවන ලද හානි පූර්ණ කාර්යාලය මගින් වන්දි සහ වෙනත් ආකාරයේ හානිපූරණ ගෙවීම් ලබාදෙන තෙක් මෙම අතුරු දීමනාව ගෙවන බවයි. අතුරු සහන දීමනාව කිසිසේත්ම අධිකරණ ක්‍රියාවලියක් උදෙසා, සුදුසු ඉක්මන් හා සාධනීය හානි පූරණයන්ට ඇති අයිතියට බාධාවක් නොවන බව ද, මුදල් අමාත්‍යංශය පවසයි. මේ වනවිට උතුරු සහ දකුණු ප්‍රදේශවල අතුරුදන් වූවන්ගේ පවුල් 656 කට ප්‍රවාස සහතික නිකුත් කර තිබේ. ප්‍රවාස සහතික කඩිනමින් නිකුත් කිරීමට පහසුකම් සැලසීම වෙනුවෙන් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවට කොන්ත්‍රාත් පදනම යටතේ අමතර නිලධාරීන් බඳවා ගැනීම සඳහා ද අමාත්‍ය මණ්ඩල අනුමැති හිමිව ඇති බව, මුදල් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

    Last modified on සිකුරාදා, 20 සැප්තැම්බර් 2019 20:05

    Latest News