තෙවැනි විශාලම මිනිරන් පතලේ කැණීම් ඇරඹේ (විඩියෝ)

සැප් 20, 2019
  • මෙරට තෙවැනි විශාලම මිනිරන් පතල වන අත්තනගල්ල, කරස්නාගල මිනිරන් පතලේ කැණීම් ආරම්භ කෙරිණි.

    දෙවැනි ලෝක යුද්ධය අවසන් වූ පසු කැණීම් සඳහා බලපත්‍රයක් ලබාදුන් තෙවැනි මිනිරන් පතල වන්නේ මෙයයි. එකල එහි කැණිම් සිදු කෙරුණේ, මිනිස් ශ්‍රමයෙන්. දෙවැනි ලෝක යුද්ධය අවසන් වීමත් සමගම, මිනිරන් සඳහා තිබූ ඉල්ලුම අඩුවීම හේතුවෙන් මෙහි කටයුතු ඇන හිටිණ. වසර 100කට වඩා පැරණි මෙම මිනිරන් පතලේ අඩි 150ක් පමණ පහළින් කැණීම් කිරීමට භූ විද්‍යා, සමීක්‍ෂණ හා පතල් කාර්යාංශය අවසර ලබාදී තිබේ. ඒ අවශ්‍ය පාරිසරික ඇගයීම් හා තාක්‍ෂණික සමීක්‍ෂණ සිදු කිරීමෙන් පසුවයි. එහි සිදු කළ කැණීම් පරීක්‍ෂණවලදී සෙන්ටිමීටර 10ත්, 50ත් අතර ඝනකමකින් යුත් මිනිරන් ධමනි 4ක් හමුවී තිබේ.

    එම මිනිරන්වල කාබන් ප්‍රතිශතය සියයට 97ක් පමණ වේ. එම මිනිරන්වල ග්‍රැෆයිට්වල කාබන් ප්‍රතිශතය ඉහළ බැවින්, ඊට ලෝක වෙළෙඳ පොළේ ඉහළ ඉල්ලුමක් ද පවතී. සිලෝන් ග්‍රැෆයිට් ආයතනය සම්බන්ධීකරණයෙන් සර්කෝන් ඩිවලොප්මන්ට් පුද්ගලික සමාගම ඩොලර් මිලියන 500ක් ව්‍යාපෘතියට ආයෝජනය කර තිබේ. වසරකට මිනිරන් ටොන් 5,000ක් ලබා ගැනීම අපේක්ෂාවයි. එමගින්, සෘජු සහ වක්‍ර රැකියා රැසක් උදාවේ. පරිසර හානිය අවමකර තිරසර ලෙස ඛනිජ සම්පත ලබා ගැනීමට සැලසුම් කර ඇති ව්‍යාපෘතිය අධීක්‍ෂණය කරන්නේ, භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශය මගින්. එම මිනිරන්, අමු ද්‍රව්‍යයක් ලෙස නොව, නිම් භාන්ඩ ලෙස අපනයනය කිරීමට සැලසුම් කර ති‍බේ.

     

    Last modified on සෙනසුරාදා, 21 සැප්තැම්බර් 2019 09:02

    Latest News