විශිෂ්ටයින් ඇගයෙන අපනයන සම්මාන උලෙළ 2019 ජනපති ප්‍රධානත්වයෙන්

සැප් 20, 2019

    ජනාධිපති අපනයන සම්මාන උලෙළ අද (19) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    අපනයන ක්ෂේත්‍රයට දායකවූවන් ඇගයීම වෙනුවෙන් අපනයන සංවර්ධන මණ්ඩලය විසින් වර්ෂිකව සංවිධානය කරනු ලබන ජනාධිපති අපනයන සම්මාන උලෙළ මෙවර පැවැත්වුණේ 23 වන වරටයි.

    2018/2019 වර්ෂවලට අදාළව විශේෂ සම්මාන 13ක් සහ භාණ්ඩ හා සේවා ඛාණ්ඩ 42ක් සඳහා ආංශික සම්මාන 42ක් වශයෙන් සම්මාන 56 ක් මෙහිදී ප්‍රදානය කෙරිණි. ඊට අමතරව භාණ්ඩ හා සේවා ඛාණ්ඩ 42ට අදාළව කුසලතාපූර්ණ අපනයනකරුවන් සඳහා කුසලතා සම්මාන 33ක් ප්‍රදානය කිරීමට ද මෙවර කටයුතු කර තිබිණි.

    සම්මානලාභීන් තෝරා ගැනීමේ දී 2018/2019 මුල්‍ය වර්ෂයට අදාළව ඒ ඒ අපනයනකරුවන් විසින් උපයන ලද පිරිවැටුමට අමතරව, වෙළෙඳපොළ විවිධාංගීකරණය, රැකියා උත්පාදනය, නිෂ්පාදන ක්‍රියාවලියේ දී වටිනාකම් එකතු කිරීම හා පසුගිය වසරට සාපේක්ෂව අපනයන වර්ධනය ආදි නිර්නායකයන් ද සැලකිල්ලට ගන්නා ලදී. 1981 වසරේ දී අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ආරම්භ කරන ලද ජනාධිපති අපනයන සම්මාන උලෙළ ශ්‍රී ලංකාවේ අපනයන සඳහා වඩාත්ම කීර්තිමත් සම්මානය වන අතර අපනයන ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය සඳහා වැඩිම දායකත්වයක් ලබාදී ඇති අපනයනකරුවන් වෙනුවෙන් එය ප්‍රදානය කෙරේ.

    සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායිකා ඉන්දිරා මල්වත්ත යන මහත්ම මහත්මීන් ඇතුළු ආරාධිත පිරිසක් මීට සහභාගී වූහ.

     

    Latest News