විධායක ජනාධිපති අහෝසිය මහින්දගේ ඇල්ම ගෝඨාභය ඉවත් කිරීමට...... ඇමති මද්දුම බණ්ඩාර

සැප් 20, 2019

    එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කළ යුතු බව, අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසයි.

    ප්‍රේමදාස මහතාට පාර්ලිමේන්තුවේ, පළාත් සභාවේ, පළාත් පාලන ආයතනවල මෙන්ම කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සහ පක්ෂයේ ද බහුතර කැමැත්ත ඇතැයි ඇය සඳහන් කළාය. ජනතා කැමැත්ත ඇත්තේ ප්‍රේමදාස මහතාට බැවින් ඒ අවස්ථාව තමා ඇතුළු කණ්ඩායම ලබාගැනීමට ක්‍රියාකරන බව, ඇය සඳහන් කළේ අද සවස පැවති මාධ්‍ය හමුවකදී.

    එය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිල නිවසේ පැවැත්වුණා.

    ඊයේ පැවති පූර්ව කැබිනට් රැස්වීමේදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිමට ගෙන ආ යෝජනාව අමාත්‍ය මණ්ඩලයේ බහුතරය අනුමත නොකළ බව, අමාත්‍යවරිය කියා සිටියාය. එක්සත් ජාතික පෙරමුණේ අමාත්‍ය රවුෆ් හකීම්, අමාත්‍ය මනෝ ගනේෂන්, අමාත්‍ය පලනි දිගම්බරම්, අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් යන මහත්වරුන් ද එම යෝජනාවට විරුද්ධත්වය පළ කළ බව ඇය පැවසුවාය. මැතිවරණයක් ප්‍රකාශයට පත්කොට තිබියදී එවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම සදාචාරාත්මක නොවන බව කී ඇය අවශ්‍ය නම් ජනාධිපතිවරණයට පසු එම අදහස ගැන සලකා බැලිය හැකි බව කියා සිටියාය.

     20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වසරක පමණ කාලයක සිට සාකච්ජා කර ඇති බව අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියා සිටියේය. එහෙත් මේ අවස්ථාවේදී එය ඉදිරිපත් කළේ කාගේ හෝ යටි අරමුණක් මුදුන්පත් කරගැනීමට බව කී අමාත්‍යවරයා එදා නොකරපු දේ අද කරන්නේ වෙනත් අරමුණක් සඳහා බව පෙන්වා දුනී.

    අවුරුදු හතරහමාරක කාලයක් විධායක ජනාධිපති ක්‍රමය මෙම ආණ්ඩුව යටතේ පැවති බව කී ඔහු මේ අවස්ථාවේ දී එය අහෝසි කිරීමට විරුද්ධ බව සඳහන් කළේය. ඊයේ පාර්ලිමේන්තු කමිටු අංක 8 තිබූ රැස්වීමේදී ද මේ සම්බන්ධයෙන් පක්ෂ නායකයන්ගේ විරෝධය පළවි තිබේ.

    කැබිනට් මණ්ඩලයට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ නොහැකියි. ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් හා ජනමත විචාරණයක් අවශ්‍යයි. එය දීර්ඝ ක්‍රියාවලියක්. පාර්ලිමේන්තුවට පමණක් විධායකය අහෝසි කිරිමට බැහැ. එබැවින්, මෙම අදහස කාලෝචිත නොවන බවයි ඔහු කියා සිටියේ.

    විධායක ජනාධිපතිධූරය අහෝසි කිරිමට මහින්ද රාජපක්‍ෂ මහතා ද ඇල්මක් දැක්වූ බව කී අමාත්‍යවරයා එය ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධූරයට පත්වනවාට ඇති අකමැත්ත දැයි ප්‍රශ්න කළේය. මෙය ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරිම වැළැක්වීමේ සූදානමක් දැයි ඔහු මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසා සිටියා.

    මෙහිදි අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයෙකු ලෙස බවයි. ඒ අනුව ඔහුට පාඨලි චම්පික රණවක, මනෝ ගනේෂන්, රවුෆ් හකීම්, පලනි දිගම්බරම්, යන එක්සත් ජාතිකපෙරමුණේ ප්‍රධාන කොටස්කාරීන් ගේ සහය පළ වන බවයි, ඔහු කියා සිටියේය. ලබන 7 වැනිදාට එක්සත් ජාතික පක්ෂයේ තීරණය ප්‍රකාශයට පත් කරන බව ඔහු සඳහන් කළා.

     

    Last modified on සිකුරාදා, 20 සැප්තැම්බර් 2019 18:40

    Latest News