පාවෙන අවි නඩුවේ තීන්දුව නොමැතිව ගෝඨාභය ආපසු යයි (විඩියෝ)

සැප් 20, 2019
  • ඇවන්ට්-ගාර්ඩ් මැරිටයිම් සර්විස් සමාගමේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමෙන් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කිරිමේ චෝදනාවට ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකළ නඩුව සැප්තැම්බර් 23 වනදා කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

    මෙම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදි කැඳවනු ලැබූණ. ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට කරුණු දක්වමින් මෙම නඩුව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති ආකාරය නීතිවිරෝධී යැයි අභියාචනාධිකරණය තීන්දු කර ඇති එබැවින් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම නඩුවෙන් නිදහස් කරන ලෙස ඔහුගේ නීතිඥයින් අධිකරණයට දැනුම් දුනී.

    එම අභියාචනාධිකරණ නියෝගය තමන් වෙත මෙතෙක් ලැබී නොමැති බව මෙහිදී මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.

    ඒ අනුව නඩුව නැවත ලබන 23 වනදා කැඳවීමට නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එදින අභියාචනාධිකරණයෙන් අදාළ නියෝගයේ පිටපතක් කැඳවීමට පියවර ගන්නා ලෙස ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර් වරයාට නියම කළාය.

    මෙම නඩුව ගොනු කිරීමේදී අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු විසින් දුන් ලිඛිත අනුමැතිය අධිකරණය හමුවේ ඉදිරිපත් කර නොමැති හෙයින් එම නඩුව විභාග කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥවරු ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් මීට පෙර ප්‍රතික්ෂේප කළ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය එම නඩුව විභාග කිරීම සඳහා නියෝග නිකුත් කර තිබුණ.

    එම නියෝගය අහෝසි කරන ලෙස ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළත් එම ප්‍රතිශෝධන පෙත්සම ද මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිය.

    කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය සහ කොළඹ මහාධිකරණය දී ඇති නියෝග අහෝසි කර සියලු චෝදනා වලින් නිදහස් කරන ලෙස ඉල්ලමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම විභාග කළ අභියාචනාධිකරණය අල්ලස් කොමිසම විසින් අදාළ නඩුව පවරා ඇති ආකාරය නීතියට පටහැනි පැවසීය. එ අනුව නඩුවේ විත්තිකාර ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත නියෝග කර කළේය.

    මෙම නඩුවේ විත්තිකරුවන් අතර ජයන්ත පෙරේරා, ජයනාත් කොළඹගේ සහ සෝමතිලක දිසානායක යන හිටපු නාවික හමුදාපතිවරු තිදෙනෙකු ඇතුළත්ව සිටිති. ඊට අමතරව පාලිත ප්‍රනාන්දු සහ බී. එගොඩවෙල යන විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල්වරු දෙදෙනා ද විත්තිකරුවන් අතර වේ.

     

    Last modified on සෙනසුරාදා, 21 සැප්තැම්බර් 2019 08:58

    Latest News