නිදහස් හා ස්වාධීන මැතිවරණ ජය ගැනීම පිළිබඳව කිසිඳු සැකයක් නැහැ: අගමැති රනිල්

සැප් 19, 2019

    ඉදිරියේ දී පැවැත්වෙන ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය නිදහස් හා සාධාරණව පවත්වන බවත්, ඊට අදාළ රාමුව රට තුළ ස්ථාපිත කර තිබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (19) කොළඹදී පැවසීය.

    එම නිදහස් හා ස්වාධීන මැතිවරණ ජය ගැනීම පිළිබඳව කිසිඳු බියක් හෝ සැකයක් නොමැති බව පැවසූ වික්‍රමසිංහ මහතා පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇති කිරීමට තමන් තවදුරටත් කැප වෙන බව ද පැවසීය. අවශ්‍ය නම් ඒ සඳහා පවතින ව්‍යවස්ථාවෙන් ඉදිරියට ගොස් මීටත් වඩා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ඇති කිරීමට කටයුතු කරන බව ද වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ අද (19) දින අරලියගහ මන්දිරයේ පැවැති, දේශපාලන පිළිගැනීම් හේතුවෙන් පීඩාවට පත්වූවන් සඳහා වන්දි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

    දේශපාලන පළිගැනීම් හේතුවෙන් පීඩාවට පත්වූවන්ට අද රුපියල් කෝටි 7ක වන්දි ප්‍රදානය කෙරිණ. ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය මීට ප්‍රතිපාදන වෙන් කර තිබේ. මෙය දේශපාලන පළිගැනීම්වලට ලක්වුවන් සඳහා වන්දි ප්‍රදානය කිරීමේ දෙවැනි අදියරයි. ජීවිත හා දේපල හානි වෙනුවෙන් 502 දෙනෙකුට අද වන්දි ප්‍රදානය කෙරිණ.

    ඒ ලක්ෂ 10ට අඩු හානි වෙනුවෙන්. මෙහි පළමු අදියර යටතේ 500 දෙනෙකුට වන්දි ප්‍රදානය කෙරුණු අතර, මේ වන විට දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් 1,002 දෙනෙකු වෙනුවෙන් රුපියල් කෝටි 17ක් ලබාදී තිබේ. 

    වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා...... 

    “සුදු වෑන් යුගය අවසන් කිරීමට හැකි වූ නිසා අද කිසිවෙකුත් සුදු වෑන්වලට බිය වන්නේ නැහැ. පාර්ලිමේන්තු සැසි වාර රූපවාහිනිය ඔස්සේ සජීවීව දැක ගැනීමට අවස්ථාව ජනතාවට හිමි වී තිබෙන අතර ඒ තුළින් තම නියෝජිතයන් ජනතාව වෙනුවෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව දැන ගැනීමට ද අවස්ථාව ලැබී තිබෙනවා. එවැනි විවෘත සමාජයක් අප ඇති කර තිබෙන බව කිව යුතුයි.

    රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට තවත් අදහස් හා යෝජනා ලැබෙනවා නම් ඒ සියල්ලට ඇහුම්කන් දී එකඟත්වයකට පැමිණ ඒවා ක්‍රියාත්මක කිරීමට අප සූදානම්. පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇති කිරීම අපේ අරමුණයි. ව්‍යවස්ථාවෙන් ඉදිරියට ගොස් දැනටත් වඩා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ඇති කිරීමට අප කටයුතු කරනවා.

    රටේ නිදහස් මැතිවරණ ක්‍රමයක් ඇති කිරීමට අප කටයුතු කළා. ඉදිරියේ දී පැවැත්වෙන ජනාධිපතිවරණය ඉතාම නිදහස් හා සාමකාමීම මැතිවරණය බවට පත් වෙනවා. මැතිවරණ කටයුතු සියල්ල ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව හරහා සිදු කෙරෙනවා. එම නිදහස් ජනාධිපතිවරණය, කිසිවෙකුට දෝෂාරෝපණය කිරීමට ඉඩක් නොලැබෙන තරමේ නිදහසකින් පැවැත්වෙන බව කිව යුතුයි.

    මෙම ජනාධිපතිවරණයට මුහුණ දී එය ජයග්‍රහණය කිරීමේ හැකියාව අපට තිබෙනවා. ඒ වගේම ඉදිරි මහ මැතිවරණය ද ජයගත හැකි ශක්තිය අප සතු බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි” යැයි ඔහු පැවසීය.

    අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සහ පාලිත රංගේ බණ්ඩාර, හා සංදිත් සමරසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියේය.

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 19 සැප්තැම්බර් 2019 18:56

    Latest News