පූජිතට හා හේමසිරිට ඇප දීමට එරෙහි නීතිපතිගේ පෙත්සම විභාගයට

සැප් 19, 2019

    සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර ඇප මත මුදා හරිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය අහෝසි කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම අද යළි විභාගයට ගැනිණ.

    කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේ නඩු විභාගය පැවැත්විණ. එහිදී වගඋත්තරකාර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කරුණු දක්වමින් කියා සිටියේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයෙකු අධිකරණය විසින් සැකකරුවකු ලෙස පිළිගනු ලබන්නේ ඔහුට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී තිබේ නම් පමණක් බවයි. එහෙත් තම සේවාදායකයා සම්බන්ධයෙන් රහස් පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ ගොනුකර තිබෙන "බී" වාර්තාව මගින් ඔහු විසින් රාජකාරිය පැහැර හැරීම නිසා මෙම අපරාධය සිදු වූ බව තහවුරු කෙරෙන කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නොමැති බව ජනාධිපති නීතිඥ මහතා කියා සිටියේය.

    මෙහිදී ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් චෝදනා කර සිටියේ පාස්කු ඉරුදින ප්‍රහාර වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර ඉලක්ක කරගනිමින් පමණක් සිදු කෙරෙන බවයි. එමෙන්ම තම සේවාදායකයා චේතනාන්විතවම රාජකාරිය පැහැර හැරීම සිදු කර ඇති බව නීතිපතිවරයා සිය ප්‍රතිශෝධන පෙත්සමින් සඳහන් කර තිබුණත් ඒ බව තහවුරු කෙරෙන කිසිදු සාක්ෂියක් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කර නොතිබූ බවද පෙන්වාදුන් ජනාධිපති නීතිඥ ප්‍රේමරත්න මහතා තම සේවාදායකයාට ඇප නියම කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය තුළ නීතිමය වශයෙන් කිසිදු දෝෂයක් නොමැති බවද සඳහන් කර සිටියේය.

    එබැවින් මහේස්ත්‍රාත්වරිය විසින් ප්‍රකාශිත ඇප නියෝගය ප්‍රතිශෝධනය කිරීමේ අවශ්‍යතාවක් මතු නොවන බවත් අවශ්‍ය නම් වගඋත්තරකරු වෙනුවෙන් විකල්ප ඇපයක් නියම කිරීමට මහාධිකරණයට බලයක් තිබෙන බවත් ජනාධිපති නීතිඥ ප්‍රේමරත්න මහතා සඳහන් කර සිටියේය. වගඋත්තරකාර පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා කරුණු දක්වමින් රාජ්‍ය බුද්ධි සේවය සෘජුවම ආරක්ෂක අමාත්‍යවරයා වෙත වගකියනු ලබන ආයතනයක් බව සඳහන් කළේය. පාස්කු ඉරු දින එල්ල වූ ප්‍රහාරය පිළිබඳව මුලින්ම අප්‍රේල් මස 4 වනදා විදේශීය රාජ්‍යයකින් රාජ්‍ය බුද්ධි සේවය වෙත තොරතුරු ලැබුණු බව ප්‍රකාශ කළ ද අප්‍රේල් මස 9වැනිදා පැවති බුද්ධි සමාලෝචන රැස්වීමේ දී ඒ පිළිබඳව රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා කිසිවක් ප්‍රකාශ කර නොමැති බව සඳහන් කර සිටියේය.

    එමෙන්ම පාස්කු ඉරු දින එල්ල වූ ප්‍රහාරය පිළිබඳව නිශ්චිත තොරතුරු ලබාදීමට ද රාජ්‍ය බුද්ධි සේවය අසමත් වූ බවයි ජනාධිපති නීතිඥවරයා චෝදනා කර සිටියේ. වැඩිදුරටත් කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා කියා සිටියේ තම සේවාදායකයා ඇප මත මුදා හරිමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය තුළ කිසිදු නීතිමය දෝෂ සහගත තත්ත්වයක් දක්නට නොලැබෙන බවයි. එබැවින් එය ප්‍රතිශෝධනය කරන ලෙස නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන ප්‍රතිශෝධන පෙත්සම පදනමකින් තොර බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. වැඩිදුර කරුණු විභාගය හෙට දිනට කල් තැබිණ.

    Last modified on බ්‍රහස්පතින්දා, 19 සැප්තැම්බර් 2019 17:00

    Latest News