මහජන බැංකු සංශෝධන පනත් කෙටුම්පත සම්මතයි

සැප් 19, 2019

    මහජන බැංකු සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත විය.

    මීට පෙර අවස්ථා දෙකක දී මෙම පනත් කෙටුම්පත විවාදයට ලක් කෙරුණු අතර අද දිනයේ දී එහි සංශෝධන ඉදිරිපත් කිරීම සිදු කෙරිණ. පනත් කෙටුම්පතේ තුන්වන වගන්තිය සඳහා බිමල් රත්නායක, දිනේෂ් ගුණවර්ධන හා සුසිල් ප්‍රේමජයන්ත යන මන්ත්‍රීවරුන් සංශෝධන ඉදිරිපත් කළේය. එම සංශෝධනවලට ආණ්ඩුව එකඟත්වය පළ නොකළේය. අනතුරුව විපක්ෂයේ ඉල්ලීම පරිදි පනත් කෙටුම්පතේ තුන්වන වගන්තියට ඡන්ද විමසීමක් පැවති අතර, ඊට පක්ෂව ඡන්ද 37ක් හා විපක්ෂව ඡන්ද 72ක් හිමිවිය.

    අනතුරුව කාරකසභා අවස්ථාවේ දී අනෙකුත් සංශෝධන ඉදිරිපත් කිරීමෙන් පසු තුන්වන වර කියවීමේ අවස්ථාවේ දී මහජන බැංකු සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත විය.

    මහජන බැංකුවේ බලයලත් ප්‍රාග්ධන සීමාව වැඩි කර ගැනීම සහ භාණ්ඩාගාර ඇපකරයක් නොමැතිව ණයකර නිකුත් කිරීමේ හැකියාවක් ඇති කිරිම අරමුණින් පනත සශෝධනය කිරිම සිදුවේ.

    1961 අංක 29 දරණ මහජන බැංකු පනතේ 13 වන වගන්තිය ප්‍රකාරව මහජන බැංකුවේ පරම අයිතිය ශ්‍රී ලංකා රජය සතු වේ. එහි වගකීම පැවරෙනුයේ මහ භාණ්ඩාගාරයේ ලේකම් වෙත ය. මහජන බැංකුවේ කොටස්, සමුපකාර සමිති වෙත හෝ මහ භාණ්ඩාගාරයේ ලේකම් වෙත හැර අන් කිසිවෙකුට අලෙවි කළ නොහැකි බව එම පනතේ පැහැදිලිවම සඳහන් වේ.

    මහජන බැංකු පනතේ සංශෝධන කෙටුම්පතෙහි 13 වන වගන්තිය සංශෝධන නොකරන බැවින් මහජන බැංකුව පෞද්ගලීකරණය වීම යනුවෙන් ප්‍රකාශ කිරීම සම්පූර්ණ අසත්‍යයක් බව මුදල් අමාත්‍යංශය පවසයි. යෝජිත සංශෝධන මඟින් පනතෙහි ඇතුළත් වගන්ති 12, 20, 21 සහ 43 පමණක් සංශෝධනය කිරීම සිදුවේ.

    මහජන බැංකුවේ බලයලත් ප්‍රාග්ධන සීමාව දැනට පවත්නා රුපියල් බිලියන 1 සිට රුපියල් බිලියන 50 දක්වා වැඩි කිරීමත්, අනෙකුත් රාජ්‍ය බැංකු සිදු කරන ආන්දමට, භාණ්ඩාගාර ඇපකර නොමැතිව, ණයකර නිකුත් කිරීමේ හැකියාව මහජන බැංකුවට ලබාදීම සංශෝධනවලට ලක්වන වගන්ති හතරේ ප්‍රධාන අරමුණ බව මුදල් අමාතයංශය පවසයි.

    ලංකා බැංකුව ඇතුළු අනෙකුත් රාජ්‍ය බැංකු පනත්වලට අනුකුලව එම බැංකුවල භාණ්ඩාගාරයේ ඇපකරයක් නොමැතිව, තම නියාමන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ණයකර නිකුත් කිරීමේ හැකියාවක් සහ ක්‍රියාවලියක් පවතී.

    මහජන බැංකු පනත සංශෝධනයෙන් පසු, නිකුත් කෙරෙන ණයකර කිසිසේත් කොටස් ප්‍රාග්ධනය බවට පරිවර්තනය කළ නොහැකි බව රජය තහවුරු කරයි. 1961 අංක 29 දරණ මහජන බැංකු පනතෙහි 13 වන වගන්තියෙන් ඒ සඳහා ඉඩ ප්‍රස්ථාවක් ඊට නොමැති බැවිනි.

    මහජන බැංකු පනත සංශෝධන ක්‍රියාවලිය 2013 වසරේදී ආරම්භ වුවකි.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 19 සැප්තැම්බර් 2019 15:04

    Latest News