ශ්‍රී ලංකා වෘත්තියවේදින්ගේ වාර්ෂික සමුළුවේ ආරම්භය ජනපති ප්‍රධානත්වයෙන් (වීඩියෝ)

සැප් 18, 2019

    ශ්‍රී ලංකා වෘත්තියවේදින්ගේ සංගමයේ වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) පස්වරුවේ කොළඹ සිනමන් ලේක්සයිඞ් හෝටලයේ දී පැවැත්විණි.

    “තිරසර ජාතික සංවර්ධනයේ දී වෘත්තිකයන්ගේ කාර්යභාරය” යන තේමාව යටතේ මෙවර සමුළුව පැවැත්වෙන අතර, දේශමාන්‍ය මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා විසින් සමාරම්භක සැසියේ මුඛ්‍ය දේශනය සිදු කරන ලදී.

    එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරය හොබවා ඇති නේස්බි සාමිවරයා මෙම සමාරම්භක සැසියේ ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

    එක්සත් ජාතින්ගේ සංවිධානය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය, එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව ආදි විවිධ ස්ථානවලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් අදහස් දැක්වූ නේස්බි සාමිවරයාට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්විණි.

    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙනුවෙන් ද විශේෂ සිහිවටන තිළිණයක් පිළිගැන්වීය. මේ අතර ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේ හිටපු සභාපති ආචාර්ය ලලිත් විජේතුංග මහතාගේ සේවය අගයමින් සම්මානයක් පිළිගැන්විම ද සිදු විය.

    ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති ඉංජිනේරු නිස්සංක පෙරේරා, ලේකම් ඉංජිනේරු ශාන්ත සෙනරත්, වාර්ෂික සමුළුව සංවිධානය කිරීමේ කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේ නව සභාපතිවරයා ලෙස තේරී පත් වූ සමන් වරුසවිතාන යන මහත්වරුන් ඇතුළු සංගමයේ සාමාජික සාමාජිකාවන් සහ විද්වත් ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

     

     

     

     

    Last modified on බදාදා, 18 සැප්තැම්බර් 2019 20:27

    Latest News