පොහොට්ටුවේ මන්ත්‍රී එප්පාවල ක්‍රීඩා පිටියේ කොටසක් අල්ලා ගැනීමට එරෙහි උපවාසයක්

සැප් 11, 2019

    ඒකාබද්ධ විපක්ෂය නියෝජනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. සී. මුතුකුමාරණ මහතා එප්පාවල කටියාව ක්‍රීඩා පිටියේ කොටසක් අනවසරයෙන් අත්පත් කර ගෙන වගාවන් පවත්වාගෙන යාමට විරෝධය පළ කරමින් කටියාව ගම්වාසීන් පිරිසක් අද (11) එප්පාවල නගරයේ උපවාසයක් ආරම්භ කළේය.

    තරුණයින් කීප දෙනෙකු ඇතුළු ගම්වාසීන් එප්පාවල නගරයේ වෙළඳසැලක් අසල පැදුරු එලා බිම වාඩි වී අද (11) උදෑසන උපවාසය ආරම්භ කර බව අප වාර්තාකරු පවසයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. සී. මුතුකුමරණ අපගේ ක්‍රීඩා පිටියේ කෙසෙල් සිටුවා ඇත. ඔබ තුමා අපේ ක්‍රීඩා පිටිය දෙන්නේ කවදාද? අපේ ක්‍රීඩා පිටිය අපිට දෙන්න, ක්‍රීඩා පිටිය මුතුකුමාරණට දුන්නේ කොහොමද, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. සී. මුතුකුමාරණ මැතිතුමණි ඔබට ලැජ්ජා නැද්ද ගමේ ක්‍රීඩා පිටිය බලහත්කාරයෙන් අල්ලාගෙන භූක්ති විදින්න ආදී සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කර විරෝධය පළ කරමින් උපවාසය දියත් කළහ.

    එස්. සී. මුතුකුමාරණ මහතා පසුගිය රජයේ බන්ධනාගාර නියෝජ්‍ය අමාත්‍යවරයාව සිටියදී කටියාව ක්‍රීඩා පිටියට අයත් භූමියෙන් කොටසක් ඔසු උයනක් පවත්වාගෙන යාම සඳහා තාවකාලිකව ලබා ගත් බවත්, ඒ වෙනුවට කෙසල්, දෙළුම්, මිරිස් ආදිය සිටුවා වානිජ ඉඩමක් බවට පත් කර ගෙන ඇති බවත් ඔවුන් පෙන්වා දුන්හ. මේ වන විට ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීමට යෝජනා වී ඇතත්, අදාළ අනවසර අත්පත් කර ගැනීම හේතුවෙන් ක්‍රීඩා පිටිය නිසි ලෙස සංවර්ධනය කිරීමට නොහැකි වී ඇතැයිද ඔවුන් පැවසීය. තම ගැටලුවට විසදුමක් නොලැබුණ හොත් අඛණ්ඩ උපවාසයක් සිදු කරන බව ඔවුන් පවසති. පැය කීපයක් උපවාසයේ නිරතවිමෙන් පසුව පිරිස විසිර ගොස් තිබේ.

    සතියක් තුළ ක්‍රිඩාපිටියේ අනවසර අත්පත් කර ගත් බිම් කොටස නිදහස් කර නොදුන හොත් එප්පාවල නගරයෙන් ප්‍රධාන මාර්ග අවහිර කර උද්ඝෝෂණයේ නිතර වන බව ඔවුන් පැවසුහ.

    මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. සී. මුතුකුමාරණ මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ,

    2008 වර්ෂයේ අපි වවමු රට නගමු කෘෂි සංවර්ධන වැඩසටහන යටතේ පැළ තවානක් සඳහා අදාළ ඉඩම් කොටස තාවකාලිකව තමන් වෙත නිදහස් කර ඇති බවත්, තමන් ගොවියකු ලෙස අදාළ ඉඩම තුළ පර්යේෂණ මට්ටමින් විවිධ වගාවන් සිදු කළ බවත්, නවීන බීජ වගා කර ඒවා ගොවීන් අතර බෙදා දීමට මෙම ඉඩම ඉවහල් වූ බවද ඒ මහතා පැවසීය. මම කාගෙවත් ඉඩම් බලෙන් අල්ලාගෙන නෑ, මාත් සමඟ ඔය ගම්වාසීන් සාකච්ජා කලේ නෑ. මහවැලිය මේ ගැන පරීක්ෂණයක් කරලා ඉඩම් ගැටලුව නිරවුල් කරවි යැයි ඔහු පැවසීය.

    Last modified on බදාදා, 11 සැප්තැම්බර් 2019 17:45

    Latest News