වයස 60ට වැඩි කලකරුවන්ට රුපියල් 5000ක දීමනාවක්

සැප් 11, 2019

    වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ කලාකරුවන් සඳහා මසකට රුපියල් 5000ක් ලබා දීමට පියවර ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ පවසයි.

    ඒ අනුව පළමු අදියර ලෙස ජ්‍යෙෂ්ඨ කලාකරුවන් 200 දෙනෙකුට එම දීමනාව ලබා දෙනු ඇත. රජය විසින් කලාකරුවන් සඳහා වෙන් කර ඇති රුපියල් මිලියන 94 ක මුදලින් ලැබෙන පොළිය මත එම දීමනාව ලබා දෙන අතර සංස්කෘතික අමාත්‍යාංශය සහ සමාජ ආරක්ෂණ මණ්ඩලය මඟින් මෙම වැඩසටහන ක්‍රියාවට නංවයි.

    එක්සත් ජාතික කලා සංසදය, ගායක ගායිකා සංගමය, ජාතික කලා සංසදය, මොරටුව කලා එකමුතුව ඇතුළු කලා සංගම් කිහිපයක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවති සාකච්ඡාවකදී ඇමතිවරයා මේ බව පවසා ඇත.

    “ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ට ලබා දෙ එකම මාසික විශ්‍රාම වැටුප ඔබ විසින් තෝරා මා වෙත දැනුම් දෙන්න. දැනට අපි 200 දෙනෙකුගෙන් එම වැඩසටහන ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

    කලාකරුවන්ගේ අරමුදල තවදුරටත් වර්ධනය කර ගැනීමට අපි ඉදිරියේදී කටයුතු කරනවා. එවිට අපිට අරමුදලෙන් ලැබෙන පොළිය වැඩි වෙනවා. ඒ අනුව ඉදිරියේ දී තවත් කලාකරුවන් පිරිසකට විශ්‍රාම වැටුප ලබාදිය හැකියි.

    ඔබ විසින් තෝරා එවනු ලබන කලාකරුවන්ට විශ්‍රාම වැටුප හිමිකර ගැනීමට තරම් සුදුසුද කියලා ඔබ තීරණය කරන්න. ඔවුන්ට තමන්ගේ දිවිපෙවෙත සරිකර ගැනීමටත් නොහැකි නම්, ඔවුන්ගේ දරුවන්ට ඔවුන් පෝෂණය කිරීමටත් නොහැකි නම් අපි ඔවුන්ට අනිවාර්යයෙන් විශ්‍රාම වැටුප ලබා දෙයි.

    කලාකරුවන්ගේ අරමුදල වර්ථමානය කරගැනීම සඳහා අපට කලාකරුවන්ගේම උදව් ලබා ගත හැකියි. විශේෂයෙන් අරමුදලට ආධාර පිණිස කලාකරුවන්ට තම කලා හැකියාවන් මඟින් දායකත්වය ලබා දෙන් පුළුවන්.

    දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම මාසයකට වරක් වෛද්‍ය සායනයක් පැවැත්වීමට අපි තීරණය කරල කර තිබෙනවා. එවැනි කලාකරුවන් වෙනුවෙන් ද පැවැත්වීමට අපට හැකියි. ”

    කලාකරුවන් වෙනුවෙන් අවශ්‍ය නොයෙකුත් සහන සහ සේවාවන් ලබා ගැනීම සඳහා සංගමයක් හෝ සමිතියක් මඟින් ඉල්ලීමක් කිරීමෙන් වැඩි ප්‍රතිලාභයක් ලබා ගත හැකි බවත් ඇමතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

    Latest News