යල් පැන්න බ්‍රිතාන්‍ය ආර්ථික ක්‍රමයේ සිරවීය නොහැකි: සමෘධිය සොයන මග හෙළි කළා: අගමැති රනිල් (වීඩියෝ)

සැප් 10, 2019

    19 වන ශත වර්ෂයේ ඇරඹූ බ්‍රිතාන්‍ය ආර්ථික ක්‍රමය තුළ තවදුරටත් සිරවී සිටිය නොහැකි බව පෙන්වා දෙන අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අලූත් ආර්ථිකයක් වෙත රට යොමු කළ යුතු බව අද (10) කොළඹදී පැවසීය.

    විශාල ණය බරක් සහිත සහ අපනයනය කඩා වැටුණු රටක් තම ආණ්ඩුවට භාර ගැනීමට සිදුවූ බව ප්‍රකාශ කළ රනිල් වික්‍රමසිංහ මහතා ඒ සියලූ අභියෝගවලට මුහුණදෙමින් කතාව වෙනුවට සීඝ්‍රයෙන් වැඩ කරන යුගයක් ඇරඹූ බව ද වික්‍රමසිංහ මහතා සිහිපත් කළේය. කොළඹ මහනගරය, මාර්ග පද්ධතිය හා වරාය දියුණු කිරීම මගින් ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත් කිරීමට කැපවී ක්‍රියා කරන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ අද (10) කොළඹ වරාය පරිශ්‍රයේ දී, වරාය පිවිසුම් ගුවන් මාර්ග ව්‍යවපෘතියට මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.

    චයිනා සිවිල් ඉංජිනියරින් කන්ස්ට්‍රක්ෂන් සමාගම හා මාර්ග සංවර්ධන අධිකාරිය අතර අදාළ ව්‍යාපෘති ගිවිසුමට අත්සන් තැබීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා ශ්‍රී ලංකා චීන තානාපති චෙං ක්ෂුආං යන මහත්වරුන්ගේ ඉදිරියේ සිදු කරනු ලැබීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ......
    ආණ්ඩුවේ වැඩපිළිවෙළ පිළිබඳව ඇති චෝදනාව වැඩ නොකිරීම නොවේ. චෝදනාව වන්නේ සීඝ්‍රයෙන් වැඩ කිරීම හා ඒ පිළිබඳව කතා නොකිරීමයි. අපි අලූත් නගරයක් ගොඩනගා තිබෙනවා. අපි එය සිදු කළේ රටේ ආර්ථික ප්‍රශ්න ඇති අවස්ථාවකයි. සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකර ඒවායේ ණය ගෙවීමට අපට සිදුව තිබූ අවස්ථාවකයි. මේ අභියෝග මධ්‍යයේ අපි උත්සාහ දරන්නේ ආර්ථිකය ශක්තිමත් කරන වැඩසටහන් ඉදිරියට ගෙන යාමටයි.

    අලූත් කොළඹ නගරයක්, අලූත් මාර්ග පද්ධතියක් අපි ඇති කර තිබෙන්නේ අලූත් ආර්ථිකයක් සමඟයි. බ්‍රීතාන්‍යයන් 19 වන ශත වර්ෂයේ ඇති කළ ආර්ථිකයෙන් අපට තවදුරටත් ජීවත් වන්නට බැහැ. අපගේ බලාපොරොත්තුව රටක් ලෙස ඉදිරියට යාමටයි.

    එහිදී අදහස් දැක්වූ මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්ය කබීර් හෂීම් මහතා පැවසූයේ 1990 දී සිටම කොළඹමාර්ග පද්ධතිය විධිමත් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතාට තිබූ අවශ්‍යතාවය වර්තමානයේ දී ඒ මහතාගේ උපදෙස් පරිදි යථාර්තයක් බවට පත්වෙමින් තිබෙන බවයි. කොළඹනගර සීමාව තුළ සිදුවන විශාල පරිවර්තනයට අග්‍රමාත්‍යවරයාට ගෞරවය හා ස්තූතිය හිමි විය යුතු බව ද කබීර් හෂීම් මහතා පැවසීය. නාගරික සංවර්ධනය පමණක් නොව, ග්‍රාමීය සංවර්ධන කටයුතු ද අග්‍රාමාත්‍යවරයා ලබාදුන් උපදෙස් පරිදි ඉතා වේගයෙන් වත්මන් ආණ්ඩුව සිදු කරන බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    මෙම අවස්ථාවට මුදල් අමාත්‍ය මංගල සමරවීර, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, විදුලිබල, බලශක්ති ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල, ප්‍රථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ, කැබිනට් නොවන විද්‍ය, තාක්ෂ්ණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම්. මරික්කාර්, මුජිබුර් රහුමාන්, චීන තානාපති චෙං ක්ෂුනආං මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි යන මහත්ම මහත්මීන් ප්‍රමුඛ දේශපලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගිවී සිටියහ.

    Last modified on බදාදා, 11 සැප්තැම්බර් 2019 10:22

    Latest News