බංගලාදේශ ‘සොමුද්‍රා අවිජාන්’ කොළඹට

සැප් 07, 2019

    බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘සොමුද්‍රා අවිජාන්’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද ( 07) කොළඹ වරායට ‍සේන්දු විය.

    එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව නෞකාව පිළිගනු ලැබිණ.

    අනතුරුව නෞකාවේ අණදෙන නිලධාරී, කොමාණ්ඩර් සහිරුල් හක් ඇතුළු නිලධාරීන් පිරිස බටහිර නාවික විධාන මූලස්ථානයේදී, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ හමුවිය. එහිදී ඔවුන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු ගණනාවක් පිළිබඳව සුහද පිළිසදරක නිරත වූ අතර, එහිදි සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

    සිව්දින නිල සංචාරයක් සඳහා පැමිණි නෞකාව, දිව‍යිනේ රැදී සිටින කාල සීමාව තුළ සුහද ක්‍රීඩා තරඟ, සංස්කෘතික වැඩසටහන්, ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථානයන්හි සිදු කරනු ලබන සංචාරයන් ඇතුළු වැඩසටහන් කිහිපයකට සහභාගී වීමට නියමිතයි. මෙම සංචාරය අතරතුරදී ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකාවක් මතට බංගලාදේශ නාවික හමුදා හෙලිකොප්ටර් යානාවක් ගොඩබෑමේ පුහුණු අභ්‍යාසයක් ද සිදු කිරීමට නියමිතව ඇත.

    දිගින් මීටර් 115.2 ක් සහ පළල මීටර් 13.1ක් වන ‘සොමුද්‍රා අවිජාන්’ නෞකාව ටොන් 3367.58 ක ධාරිතාවයකින් යුක්තවේ. නෞකාව සිය සිව්දින නිල සංචාරය නිමා කිරීමෙන් අනතුරුව 10 වනදා දිවයිනෙන් පිටත්වීමට නියමිතව ඇත.

    Latest News