දුෂණ චෝදනා 43න් 23 ක් අපට: ක්‍රිකට් ක්‍රීඩාව හැකිතාක් පිරිසිඳු විය යුතුයි

සැප් 07, 2019

    ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ සිද්ධීන් 43න් 23ක්ම ශ්‍රී ලංකාවේ නම කියවීම කණගාටුදායක බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ක්‍රීඩක කුමාර් සංගක්කාර පවසයි.

    සංගක්කාර මේ බව කියා සිටියේ, කොළඹ එන්.සී.සී ක්‍රිකට් සමාජයේ පැවැති පිළිගැනිමේ උත්සවයකට එක් වෙමිනි.

    එන්.සී.සී ක්‍රිකට් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ජාතික කණ්ඩායමට පිවිස ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රී ලංකීක සුපිරි ක්‍රිඩක කුමාර් සංගක්කාර වෙනුවෙන් උපහාර උත්සවය ඊයේ (06) එම ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කර තිබිණ.

    මෙම අවස්ථාවට ජාත්‍යන්තර තරග තීරකවරයෙකු වන රංජන් මඩුගල්ල, හිටපු ක්‍රීඩකයන් වන සිදත් වෙත්තමුණි, අරවින්ද සිල්වා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියේය.

    එහිදී අදහස් දැක්වූ හිටපු නායක කුමාර් සංගක්කාර........

    “අවාසනාවකට මෑත කාලයේදී ක්‍රිකට් දූෂණ සිදුවීම් කිහිපයක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙලා තියෙනවා.දැනට ක්‍රීඩා කරන හෝ ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක් කැමති නැහැ මෙවැනි චෝදනාවලට ලක් වෙනවට.

    අද ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව දුෂණ වංචා සිද්ධීන් 43න් 23ක්ම ශ්‍රී ලංකාව පිළිබඳව. ශ්‍රී ලංකාව මේ පිළිබඳ නැගී සිටිය යුතුයි. මේ පිළිබඳ ක්‍රීඩා සමාජයක් විදියට, ක්‍රිකට් කණ්ඩායමක් විදියට, පරිපාලනය විදියට මේ ක්‍රීඩාව හැකිතාක් පිරිසිදු කිරීමට වගබලා ගත යුතුයි. අවංක සහ පිරිසිදු භාවය සංස්කෘතියක් වශයෙන් තබා ගත යුතුයි. අප දන්නවා අද වන විට සෑම අයෙකුටම බලපෑම් ඇති බව. එහෙත් අවංක භාවය මේ ක්‍රීඩාවේ විශිෂ්ඨත්වය වෙනුවෙන් අවශ්‍ය.

    ඒක පටන් ගන්න ඕනේ හැමෝම දැනුවත් කිරීම තුළින්. ඒ වගේම ක්‍රීඩකයාට විශ්වාසය සහගත යාන්ත්‍රණයක් බිහි කළ යුතුයි. ඒ තුළින් ඔවුන්ට ක්‍රිකට් ක්‍රීඩාව බියකින් තොරව යෙදෙන්නට අවස්තාව සැලසිය යුතුයි. ඒ වගේම ඔවුන්, ඔවුන්ට සහ ක්‍රීඩාවට හානි වන ක්‍රමවේදයක කොටස්කරුවෙකු නොවන තැනට වගබලා ගන්න ඕනේ“

     

    Last modified on සෙනසුරාදා, 07 සැප්තැම්බර් 2019 12:48

    Latest News